වාහන ආනයන කරුවන්ගෙන් තවත් ඉල්ලීමක් – Brand New සහ Used ලෙස කාණ්ඩ දෙකක් ඕනෑ

    February, 24, 2015

    අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් වාහන සඳහා පනවා තිබෙන බදු අඩුකරන්නැයි කොතරම් ඉල්ලීම් කළද මුදල් අමාත්‍යවරයා තම සංගමයේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්නේ නැතැයි ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා කියයි.

    ඔහු අප සමග පැවසුවේ වාහන ආනයනකරුවන් ගෙන්වූ ජනවාරි 29 වනදාට පෙර ණයවර ලිපි (Letter of Credits)  විවෘත කර තිබෙන හයිබ්‍රීඩ් වාහන සඳහා අයවැයෙන් වැඩිවූ බදු වලින් සියයට 50 ක් පමණක් අයකරන ලෙස කළ ඉල්ලීමටත් වාහන ආනයනයේදී ක්ෂ්‍යවීමේ වගුව (Deprecation Table) ඉවත් කිරීම නිසා මින්පසු ආනයනය කරන වාහන “Brand New“ සහ “Used“ යනුවෙන් කාණ්ඩ දෙකකට වෙන්කරන ලෙස කළ ඉල්ලීමටත් මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි.

    “ක්ෂ්‍යවීමේ වගුව ඉවත් කිරීම නිසා අළුත් වාහනයක් ගෙන්නුවත්, පරණ වාහනයක් ගෙන්නුවත් අය කරන්නේ එකම බද්දක්. මේක බ්‍රෑන්ඩ් නිව් වාහන ආනයනය කරන සමාගම් කලක පටන් කළ ඉල්ලීම ඉටුකිරීමක් ලෙස කියන්න පුළුවන්. මේක නිසා පාවිච්චි කළ වාහන ගෙන්වන සමාගම් අපහසුතාවයට පත්වෙනවා.“

    යනුවෙන් ඉන්දික සම්පත් මෙරෙංචිගේ සඳහන් කළේය.