වාහන ආනයන සියයට 51 කින් පහළට

    January, 16, 2017

    2016 සැප්තැම්බර් මාසයේ දී මෝටර් රථ සහ දෙමුහුම් විද්‍යුත් මෝටර් රථ ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 51.9 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී.

    2015 සැප්තැම්බර් මාසයේ දී රථවාහන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 126.2 ක්වූ අතර එය 2016 සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 60.8 ක් දක්වා මේ අනුව අඩු වී තිබේ.

    මේ අතර 2015 ජනවාරි-සැප්තැම්බර් කාලපරිච්ඡේදයේ දී ඩොලර් මිලියන 1,030.9 ක්වූ රථවාහන ආනයන වියදම 2016 ජනවාරි-සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී ඩොලර් මිලියන 607.9 දක්වා සියයට 41 කින් පහළ ගොස් ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතචම වාර්තාවක දැක්වෙන්නේ 2016 සැප්තැම්බර් මාසයේ දී ආනයන වියදම 2015 අනුරූප මාසයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 1,543 ක් දක්වා සියයට 2.5 කින් අඩු වූ අතර, ප්‍රධාන වශයෙන් රථවාහන සහ ඉන්ධන ආනයන වියදම් අඩු වීම මේ සඳහා දායක වී ඇති බවයි.

    මේ අතර 2016 සැප්තැම්බර් මාසයේ දී ඉන්ධන ආනයන වියදම 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 226 සමඟ සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 176 ක් දක්වා සියයට 22.1 කින් අඩු වූ අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් බොරතෙල් සහ පිරිපහදු කළ ඛනිජතෙල් නිෂ්පාදිත ආනයන පරිමාවන් සහ සාමාන්‍ය මිල ගණන් අඩු වීම හේතු වී තිබේ.

    2016 සැප්තැම්බර් මාසයේ දී බොරතෙල් බැරලයක සාමාන්‍ය ආනයන මිල එක්සත් ජනපද ඩොලර් 46.99 දක්වා අඩු වූ අතර එය 2015 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් 48.65 ක් විය.