වාහන බදු අඩු කළායින් පසු සමාගම් කොටස් මිල ඉහළ ගිය හැටි

    August, 20, 2017

    පසුගිය අගෝස්තු 17 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෝටර් බයිසිකල් හා කුඩා ලොරි රථ සඳහා පනවා තිබූ නිෂ්පාදන බදු පහත දමන බවයි.

    මෙම බදු පහත දැමීමත් සමඟම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මෝටර් රථ වාහන අංශයට අයත් සමාගම් ගණනාවකම කොටස් මිල ගණන් පසුගිය සිකුරාදා (18) දිනයේ දී ඉහළ ගොස් තිබෙනු දැකිය හැකි විය.

    මෙහිදී ප්‍රධාන වශයෙන් ඩිමෝ සමාගමේ කොටසක මිල රු. 533.80 දක්වා රු. 38.60 කින් ඉහළ ගිය අතර මෙය පූර්ව දිනයට සාපේක්ෂව 7.79% ක වර්ධනයකි. ඩිමෝ බට්ටා ඇතුළු කුඩා පරිමාණයේ ලොරි රථ අලෙවියේ මෙරට ප්‍රමුඛ සමාගමක් වන ඩිමෝ සමාගමේ අලෙවි කටයුතු කෙරෙහි මෙම බදු පහත හෙලීම සෘජුව බලපානු ඇති බව විශ්ලේෂකයින්ගේ අදහසයි.

    මීට අමතරව යුනයිටඩ් මෝටර්ස් සමාගමේ කොටසක මිල රු. 79.40 දක්වා රු. 4.40 කින් ඉහළ ගියේ 5.87% ක වර්ධනයක් සටහන් කරමිනි. තවද CM හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිල රු. 79.00 දක්වා රු. 3.00 කින්, THE AUTODROME PLC සමාගමේ කොටසක මිල රු. 75.80 දක්වා රු. 2.30 කින් ඉහළ යන ලදී.

    මේ අතර මෙම බදු සංශෝධනය අදාළ කර්මාන්තය කෙරෙහි මූල්‍ය පහසුකම් සලසන සමාගම්වල මෙහෙයුම් කටයුතු කෙරෙහි ද සුභවාදී වනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන අතර මේ හේතුවෙන් මූල්‍ය සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යාමක් ද සිකුරාදා (18) දිනයේ දී දක්නට ලැබුණි.

    එහිදී කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී කොටසක මිල රු. 40.66 දක්වා 6.56% කින්, ලංකා ඔරික්ස් ලීසිං කොටසක මිල රු. 117.70 දක්වා 4.56% කින්, LOLC ෆිනෑන්ස් කොටසක මිල රු. 4.00 දක්වා 5.26% කින් සහ LB ෆිනෑන්ස් රු. 133.00 දක්වා 2.23% කින් වර්ධනය විය.

    මේ අතර සිකුරාදා දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ද ඒකක 28.16 ක ඉහළ යාමක් වාර්තා කළේ පෙර දිනයට සාපේක්ෂව 0.44% ක වැඩිවීමක් සටහන් කරමිනි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,436.28 ක් ලෙසින් දැක්වුණු අතර අඛණ්ඩ දින 5 ක පහළ යාමකින් පසු සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය පළමු අවස්ථාව එයයි.

    පහත දැක්වෙන්නේ සිකුරාදා (18) දිනය තුළ මෝටර් රථ වාහන සමාගම්වල කොටස් මිල හැසිරුණු ආකාරයයි.