වාහන මිලදීගෙන වසර දෙකයි. තාම ලියාපදිංචිය නෑ. Vehicles Lanka දුක මෙන්න!

    October, 16, 2014

    මිනුවන්ගොඩ කර්මාන්ත පුරයේ Vehicles Lanka (PVT) Ltd යන සමාගම විසින් මෙරටට අමතර කොටස් ගෙන්වා එකලස් කර “Eemperor“ යන වෙළඳ නාමය යටතේ අලෙවි කර තිබෙන වාහන 90 ක් පමණ ලියාපදිංචි කර ගැනීමට නොහැකි වීමෙන් තමන් ඉමහත් අසාධාරණයකට ලක්ව ඇතැයි එම වාහන මිලදීගත් පිරිස අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය.

    මෙම ස්ථානයට පැමිණි Vehicles Lanka (PVT) Ltd යන ආයෝජන මණ්ඩල අනුමැතියද සහිත මෙම සමාගමේ සභාපති හර්ෂ පී. ද සිල්වා නැමැත්තා එම මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ තම කර්මාන්ත ශාලාවේ එකලස් කළ මෙම වාහන තමන් අලෙවිකළේ නීත්‍යාණුකූල ආකාරයට බවත් මේවා ලියාපදිංචි කිරීම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ වගකීමක් බවයි.

    Vehicles Lanka (PVT) Ltd යන මෙම සමාගම ආනයනය කළ පරණ අමතර කොටස් යොදා ගනිමින් මෙම වාහන එකලස් කර තිබෙන අතර වසර තුනක් තුළදී වසරකට වාහන 750 ක් බැගින් උපරිමය වාහන 2250 ක් දක්වා එකලස් කිරීමටත් ඉන් පසුව සියයට 30 ක දේශීය අගය එකතු කිරීමක් සහිතව අළුත් අමතර කොටස් යොදා ගනිමින් වාහන එකලස් කිරීමටත් මෙම සමාගමට මූලික අවසර හිමිව තිබූ බව සමාගමේ සභාපති හර්ෂ පී. ද සිල්වා නැමැත්තා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

    තමන් සිදුකරන ව්‍යාපාරයට මුදල් අමාත්‍යංශයේ ඉහළ නිළධාරියෙකු සහ නිළධාරිනියක් සහ නීති ක්ෂේත්‍රයේ ඉහළ නිළධාරිනියක් අකුල් හෙලා ඇතැයි හෙතෙම මෙහිදී කීය.

    මෙම වාහන මිලදීගත් පිරිස පැවසුවේ මෙම වාහන මිලදීගෙන වසර දෙකක් ගත වුවත් තවමත් ඒවා ලියාපදිංචි කර ගැනීමට නොහැකි වී තිබීම අසාධාරණයක් බවයි.

    සේයාරුවේ දැක්වෙන්නේ මෙම වාහනයක් මිලදීගත් චරිත් චන්ද්‍රවික්‍රම මහතා මාධ්‍ය හමුවට සහභාගී වී සිටින අයුරුයි.