වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න

    May, 9, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා එළිදක්වන ලද දත්ත වාර්තාවලට අනුව 2016 මැයි 05 දින දක්වා කාලය පුරාවට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 1.1% කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

    මෙහි ඇති වඩාත් ඛේදජනක තත්ත්වය නම් සෙසු විදේශ විනිමයන් සැලකීමේ දී ශ්‍රී ලංකා රුපියලේ වැඩි වශයෙන් අවප්‍රමාණය වී ඇත්තේ ජපන් යෙන්වලට එරෙහිව වීමයි. වසරේ මුල් මාස 04 අැතුළත ජපන් යෙන්වලට එරෙහිව 12.1% කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

    වාහන ආනයනයේ දී ඒ සඳහා ණයවර ලිපි විවෘත කළ යුතු වන්නේ ජපන් යෙන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල්වලින් වීම නිසා විදේශ විනිමය උච්ඡාවචනය දැඩි ලෙස වාහන ආනයන කර්මාන්තයට බලපා තිබේ.

    මේ අතර 2016 වසරේ මැයි 05 දක්වා කාලය තුළ ස්ටර්ලිං පවුම් හා සැසඳීමේ දී 0.9% කින් ශ්‍රී ලංකා රුපියල ඉහළ ගිය ද, ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව 3.7% කින් ද, යූරෝවලට එරෙහිව 6% කින් ද හා ඉන්දියානු රුපියලට එරෙහිව 0.9% කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.

    ජපානයෙන් ආනයනය කරනු ලබන වාහන පමණක් නොව සියලූම ජපන් භාණ්ඩවල මිල ගණන් ද මෙකී විනිමය අවප්‍රමාණය නිසා මේ වන විට ඉහළ ගොස් ඇත.

    2016 වසරේ මැයි දක්වා කාලය තුළ එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 3.5% කින් ජපන් යෙන් වටිනාකම ඉහළ ගොස් ඇත.

    ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීමත්, ඩොලරයට එරෙහිව ජපන් යෙන් ඉහළ යාමත් යන කරුණු අනුව, ජපන් යෙන්වලට එරෙහිව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම විශාල වී තිබේ.