වාහන වෙළෙඳපොළ මන්දගාමී විය හැකියි – ෆිච් රේටිංග්ස් ලංකා

    November, 27, 2015

    ඉදිරි 2016 වසර තුළ මෙරට රථවාහන වෙළෙඳපොළ වර්ධනය මන්දගාමී විය හැකි බව ෆිච් රේටිංග්ස් ලංකා ආයතනය සඳහන් කර සිටී. ඉහළ බදු පැනවීම, රුපියල අවප්‍රමාණය වීම යනාදී කරුණු මත මෙම තත්ත්වය ඇතිවිය හැකි බව පවසන ෆිච් රේටිංග්ස් ලංකා ආයතනය පහත කරුණු තවදුරටත් අනාවරණය කර සිටී.

    විශේෂයෙන් කුඩා මෝටර් රථවල මිල විශාල වශයෙන් ඉහළ යාම නිසා ඉදිරියේ දී මෙම වෙළෙඳපොළ වර්ධනය අඩාල විය හැකිය. වාහන සඳහා ලීසිං හා ණය පහසුකම් සැපයීමේ දී රජය විසින් තර කර ඇති රෙගුලාසි හේතුවෙන් වාහන ගැනීමට පෙළඹවීම අධෛර්යමත් කර තිබේ.

    ජේ.බී. සිකියුරිටීස් (පුද්) සමාගමේ දත්ත වාර්තාවලට අනුව 2014 වසරට සාපේක්ෂව 2015 මුල් මාස 10 තුළ දී නව වාහන ලියාපදිංචිය 375% කින් ඉහළ ගොස් තිබේ. මෙයින් 93% ක් පමණ කුඩා කාර් රථ වේ. 2015 පෙබරවාරි මාසයේ දී 1000CC ධාරිතාවට අඩු කාර් රථ සඳහා පනවා තිබූ ආනයනික බද්ද 173% සිට 155% අඩු කිරීම, රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම හා ඉන්ධන මිල පහත හෙලීම යනාදී කරුණු හමුවේ මෙම වසරේ මුල් මාස කිහිපය තුළ කුඩා මෝටර් රථ සඳහා ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගියේය.

    කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය තුළ දී ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හමුවේ (සැප්තැම්බර් මාසය තුළ දී 5% කින්) ආනයනික කාර් රථ වෙනුවෙන් ගෙවිය යුතු දේශීය මුදල් ප්‍රමාණය ඉහළ ගොස් ඇත. තවද සැප්තැම්බර් මාසය තුළ දී වාහන සඳහා ණය ගත හැකි සීමාව වාහනයේ මුළු වටිනාකමින් 70% දක්වා පහත හෙලීම, ඒ සඳහා යොමුවීම තවදුරටත් අධෛර්යමත් කරවන්නකි.

    මේ අතර රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2016 අයවැය යෝජනා අනුව කුඩා කාර් රථ ඇතුළු රථ වාහන මිල ගණන් 173% දක්වා ඉහළ දමා තිබේ. 2012 වසරේ දී වාහන සඳහා වූ ආනයනික බද්ද 120% සිට 200% දක්වා ඉහළ නැංවීම හමුවේ වාහන වෙළෙඳපොළේ අඩාල වීමක් මීට පෙර දැකගත හැකිවිය.

    පිටරට වෙත ඇදී යන මුදල් පාලනය කිරීමත් මෙරට දැනට උග්‍රව ඇති රථවාහන තදබදයට විසඳුම් ලබා දීමත් රජය විසින් ගනු ලැබූ මෙම පියවරෙන් සපුරාලීමට බලාපොරොත්තු වන දීර්ඝ කාලීන අරමුණු වේ. 2014 වසර අවසානයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක්ව පැවති මෙරට විදේශ සංචිත ප්‍රමාණය 2015 අගෝස්තු අවසානය වන ඩොලර් බිලියන 6.5 දක්වා පහත වැටී ඇත. 2014 වසරේ මුළු ආනයනවලින් 4.6% ක්වූ වාහන ආනයන වටිනාකම 2015 මුල් මාස 10 තුළ දී 7.2% දක්වා වර්ධනය වී තිබෙන්නේ මෙවන් වපසරියක් තුළය.