වැඩි අවධානය සෘජු විදෙස් ආයෝජන වෙත – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල

    December, 4, 2019

    මේ අවස්ථාවේ දී නව රජයේ වැඩි අවධානය යොමුව ඇත්තේ සෘජු විදෙස් ආයෝජන වෙත බවත්, ඔවුන්ට මෙරට යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමෙන් පවා ප්‍රතිලාභ ලැබිය හැකි බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේ පැවසීය.

    “අපි වසර 5 සිට 10 දක්වා සැලසුම් සකස් කරනවා. ආයෝජන සම්බන්ධයෙන් තිබෙන සංවර්ධනය කෙටිකාලීන දෙයක් නොවෙයි. එය දිගුකාලීනයි. කොටස් වෙළෙඳපොළ ඇති වූ උද්දීපනය කෙටිකාලීනව සැලකිය හැකියි. කොටස් වෙළෙඳපොළ සීඝ්‍රයෙන් ඉහළ යනවා. එය ආර්ථිකයට ඉතා වැදගත්. එමඟින් අප පිළිබඳ තිබෙන බලාපොරොත්තු, අපේක්ෂාවන්, විශ්වාසයන් පෙන්නුම් කෙරෙනවා.“

    “මේ අවස්ථාවේ දී කිසියම් හෝ විදේශ සහායක් අවශ්‍ය යැයි කියා මා සිතන්නේ නැහැ. නමුත් මධ්‍ය කාලීනව හා දිගුකාලීනව අපි ඒ පිළිබඳව සලකා බලනවා. අපි වැඩි වශයෙන් අවධානය යොමුකන්නේ සෘජු විදේශ ආයෝජන පිළිබඳව. අපි ඇති තරම් විදෙස් ණය අරගෙන තිබෙනවා. ඒ පිළිබඳ අපි දෙවනුවට සිතිය යුතුයි. අපේ කාලයේ දී ට්‍රිලියන 5ක් ගත්තා. 2.5 සිට 7.5 ක් දක්වා. අපිට ඒ ට්‍රිලියන 5 ගැන ගිණුම් තිබෙනවා, ඕනෑම වෙලාවක ඉදිරිපත් කළ හැකි. නොරොච්චෝලේ බිලියන එකක්. විගණකාධිපති කියනවා එය වඩාත් ලාභදායීම ව්‍යාපාරය කියා. දෙවනුව දකුණු අධිවේගී මාර්ගය. එය බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ලාභයක් උපයා තිබෙනවා. අපි මේවා විදෙස් ආයෝජකයින්ට ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියකට යා යුතුයි. මන්ද මෙම ව්‍යාපෘති ලාභදායී බැවින් ඔවුන්ට පාරවල් සෑදීම වැනි යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ආයෝජනය කරන්න පුළුවන්.“

    “මම ආචාර්ය මහතීර් මොහොමඩ්ගේ කියමනක් මේ අවස්ථාවේ දී මතක් කරන්න කැමතියි. බොහෝ රටවල් ආයෝජකයින්ට බොහෝ ප්‍රතිලාභ අර්පණය කරනවා. නමුත් ඔබට තරඟකාරී වාසි තිබියි යුතුයි. අපි ඒ තරඟකාරී වාසි දෙස අවධානය යොමු කරනවා.“