• Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka

වැදගත් තීරණයක් සතියකට කලින් ගැනීමට මහ බැංකුව තීරණය කරයි

September, 22, 2022

2022 ඔක්තෝබර් මස 13 වැනි දින දැනුම් දීමට නියමිතව තිබූ 2022 අංක 07 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2022 ඔක්තෝබර් 06 වැනි දින පෙරවරු 7.30ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව 2022 ඔක්තෝබර් 12 වැනි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වී අදාළ මුදල් ප්‍රතිපත්ති තීරණය ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම දරන ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව වන අතර, ප්‍රධාන වශයෙන් ආර්ථිකයේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කිරීම සහ ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම මහ බැංකුව විසින් සිදු කරනු ලැබේ.

ආර්ථිකයේ පවත්නා පොලී අනුපාතික මත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මෙහෙයුම් කටයුතු බලපෑම් කරනු ලබන අතර ම, එය ණයගැතියන් හා ණයහිමියන්ගේ හැසිරීම, ආර්ථික ක්‍රියාකාරකම් සහ අවසාන වශයෙන් උද්ධමන අනුපාතිකය මත බලපෑම් ඇති කරනු ලබයි.

ඒ අනුව, උද්ධමනය පාලනය කිරීම සහ උද්ධමනය අපේක්ෂිත මට්ටමක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය භාවිත කරනු ලැබේ.