විදුලි පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාවට නව පියවර

    March, 28, 2017

    2017 පාරිභෝගික කතිකාවේදී ප්‍රකාශයට පත් කරයි

    විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වාර්ෂිකව සංවිධානය පාරිභෝගික කතිකාව, 2017 මාර්තු 28 වන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි..

    ප්‍රධාන විදුලි බල සේවා සැපයුම් ආයතන වන ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම, විදුලි පාරිභෝගික සංවිධාව හා ක්‍රියාකාරිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙවර කතිකාවේදී විදුලිබල සේවාවේ ගුණාත්මක තත්වය ඉහල නැංවීම හා පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාවට ගත යුතු නව නියාමන රීති හා පටිපාටි ආදිය පිළිබද සාකච්ඡා විය.

    මේ වසර තුලදී විදුලි බල පාරිභෝගික ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සදහා නව රීති මාලා 11ක් හදුන්වාදීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙහිදී හෙළිකළේය.

    මෙවැනි කතිකා හරහා ඉදිරිපත්කෙරෙන අදහස් හා යෝජනා වලට කොමිෂන් සභාවේ තීරණ ගැනීමේදී ප්‍රමුඛතාව දෙන බවද සභාපති සාලිය මැතිව් මහතා ප්‍රකාශ කළේ ය.

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පාරිභෝගිකයාට හා අනෙකුත් පාර්ශ්වයන්ට බලපාන තීරණගැනීමේදී නිරතුරුවම මහජන අදහස් ලබාගන්නා බවද ඔහු පෙන්වා දුනි.

    මෙවර කතිකාවේදී ඛණිජ තෙල් හා ජල සේවා කර්මාන්තවල පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාව සදහා විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවයද ප්‍රකාශයට පත්විය. ඛණිජතෙල් කර්මාන්තය හා ජල සේවා කර්මාන්තය සදහා නම්කල නියාමන ආයතනය වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව එම කර්මාන්තයින්හි පාරිභෝගික ආරක්ෂාව සදහා සහාය ලබාදීමට ද පියවර ගන්නා බව ප්‍රකාශයට පත්විය. ඒ අනුව ඉදිරියේදී ඛණිජතෙල් හා ජල සේවා පාරිභෝගික අයිතිවාසිකම් ප්‍රකාශන එළිදැක්වීමට නියමිත ය.

    මෙවර කතිකාවේ සාකච්ඡා මණ්ඩපයේ කථිකයින් ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ, ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ඉංජිනේරු චුලනී පෙරේරා. ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරි එච් එන් ගුණසේකර. ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නදුන් ප්‍රනාන්දු. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යධිකාරි ඩබ් බී ජී ප්‍රනාන්දු සහ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාකිරීමේ ව්‍යාපාරයේ රන්ජිත් විතානගේ සහභාගි විය.