November, 22, 2017
නියමිත කාලයට අනුව විදුලි බලාගාර ඉදිනොකිරීම හේතුවෙන් ඉදිරි දෙවසර තුලදී රුපියල් බිලියන 51ක අමතර වියදමක් දැරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කල නව වාර්තාවකින් හෙළි කර තිබේ. අනුමත දිගුකාලීන ජනන සැළැස්මෙහි ඇතුළත් බලාගාර ඉදිකිරීම ප්‍රමාද වීම නිසා අධික මිල ගණන් වලට හදිසි අවශ්‍යතා මත විදුලිය මිලදී ගැනීමට හේතු වීමෙන් මෙම අහිතකර මුල්‍ය බලපෑම මතුව තිබේ. කෙරවලපිටිය ස්වාභාවික වායු බලාගාරය, උමා ඔය ජලවිදුලි බලාගාරය, සුර්යබල. සුළංබල හා කුඩා ජල විදුලි බලාගාර නියමිත කාල සීමාව තුල ඉදි වී නැතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කල වාර්තාවෙහි සදහන් වේ.
අනුමත දිගුකාලීන ජනන සැළසුමට අනුව කෙරවල පිටිය ස්වභාවික වායු බලාගාරය 2019 ජනවාරි මස වන විට ඉදිකළ යුතු ය. එහෙත් ලංකා විදුලිබල මණ්ඩලයේ නව සැළසුම් වලට අනුව එය ඉදිකිරීම 2020 ජුනි මස දක්වා අවුරුදු 1යි මාස 6කින් කල් දමා ඇත. කෙරවලපිටිය ස්වාභාවික වායු බලාගාරයේ ජනන වියදම ඒකකයට රුපියල් 14ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එම බලාගාරයෙන් විදුලිය ජනනය වීම ප්‍රමාද වීම නිසා විදුලි ඉල්ලුම සපුරාලීමට මිල අධික බලාගාර වලින් විදුලිය මිලදි ගැනීමට සිදු වේ. එහිදී එක් ඒකකයකට රුපියල් 9ක් වැඩියෙන් ගෙවීමට සිදු වේ. වායු බලාගාරය වෙනුවට වෙනත් තාප බලාගාර වලින් මිලදී ගැනීමට සිදුවන නිසා මසකට වැයවන අමතර වියදම රුපියල් බිලියන 1.55කි. ඒ අනුව කෙරවල පිටිය ස්වභාවික වායු බලාගාරය මාස 18ක් ප්‍රමාද වීම නිසා සිදුවන පාඩුව රුපියල් බිලියන 28කි.
අනුමත දිගුකාලීන ජනන සැළසුම් අනුව 2018-2020 කාලය තුලදී මෙගා වොට් 360ක සුර්යතාප බලාගාර ජාතික පද්ධතියට එක් කළ යුතු ය. සුර්ය බලාගාරයකින් විදුලි ඒකකයක් නිපදවීම සදහා වැයවන්නේ රුපියල් 12කි. ඒ වෙනුවට තාප බලාගාරයකින් මිලදී ගැනීමට සිදුවුවහොත් ඒකකයක් සදහා රුපියල් 22කි. ඒ අනුව මෙගා වොට් 360ක ධාරිතාවයකින් යුතු සුර්යතාප බලාගාර ඉදිකිරීම වසරක් ප්‍රමාද වීම හේතුවෙන් දැරීමට සිදුවන අමතර වියදම ආසන්න වශයෙන් රුපියල් බිලියන 6කි.
2018-2020 කාලය තුලදී 2019 ජනවාරි වන විට සුළං බලාගාර මගින් මෙගා වොට් 50ක් එක් කල යුතු ය. 2020 ජනවාරි වන විට තවත් මෙගා වොට් 220ක් සුළං බලාගාර හරහා දායක කළ යුතු ය. සුළං බලාගාරයකින් විදුලි ඒකකයක් නිපදවීම සදහා වැයවන වියදම රුපියල් 10කි. සුළං බලාගාර ප්‍රමාද වීම නිසා තාප බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට සිදුවුවහොත් ඒකකයක් මිලදී ගැනීම සදහා වන අමතර වියදම රුපියල් 12කි. 2019-2020 අතර කාලය තුල ජාතික පද්ධතියට මෙගා වොට් 270ක සුළං බලාගාර ඉදිකල යුතු වේ. එම බලාගාර ඉදිකිරීම එක් වසරකින් ප්‍රමාද වුවහොත් තාප බලාගාර වලින් විදුලිය සපයාගැනීම සදහා වරකට රුපියල් බිලියන 9ක් වැය කළ යුතු ය.
දිගුකාලීන අනුමත ජනන සැළසුමට අනුව ඉදිරි දෙවසර තුලදී කුඩා ජල විදුලි බලාගාර වලින් මෙගා වොට් 15ක ධාරිතාවයක් ඉදිකල යුතුය. මෙම කුඩා විදුලි බලාගාර ඉදිකිරීම ප්‍රමාදය නිසා දරන්නට සිදුවන අමතර වියදම රුපියල් මිලියන 600කි.
දිගුකාලීන ජනන සැළසුමෙහි ඇතුළත් අවම පිරිවැය බලාගාර නියමිත කාල සටහන අනුව ඉදි නොවන බවට ලංකා විදුලිබල මණ්ඩලයේ නව ඉදිකිරීම් සැළසුම් මගින් පෙන්වා ඇත. ඒ අනුව ඉදිරි දෙවසර තුලදී ආර්ථිකයට දරන්නට සිදුවන අමතර වියදම රුපියල් බිලියන 50කි. මෙම බලාගාර ඉදිකිරීම 2020 න් පසුව තවදුරටත් ප්‍රමාද වන්නේ නම් මසකට වැයවන අමතර වියදම රුපියල් බිලියන 3.5කි.
මෙම පාඩුව මගහැරවීම සදහා අඩු වියදම් බලාගාර කඩිනමින් ඉදිකල යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ. එය ජාතික අවශ්‍යතාවයක් ලෙස සළකා කාල සටහනට අනුව බලාගාර ඉදිකිරීමට පියවර ගත යුතුය.
අනුමත අඩු වියදම් බලාගාර ඉදිකිරීම ප්‍රමාද කර ඒ වෙනුවට හදසි අවශ්‍යතා පදනම මත අධික මිල ගණන් යටතේ විදුලිය මිලදී ගැනීම නිර්දේශ නොකරන බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරනය කරන අතර එසේ මිලදී ගන්නේ නම් එම අමතර වැය බර විදුලි පාරිභෝගිකයින්ගේ ගාස්තු හරහා අයකරගැනීම අනුමත නොකරන බවද කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයට බලාගාර නියමිත කාලසටහන් අනුව විදුලි බලාගාර ඉදිකළ නොහැකි නම් බලාගාර කඩිනමින් ඉදිකිරීම සදහා වෙනත් කාර්යක්ෂම ආයතනික ව්‍යුහයක් හදුනාගත යුතු බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කල වාර්තාවේ සදහන් වේ.
Video Story