විදුලි බල මණ්ඩලය යළිත් පැටලේ

    June, 25, 2014

    බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට වර්ෂාව අඩුවීම හේතුවෙන් දිගින් දිගටම ඉන්ධන මගින් වැඩිපුර විදුලිය ජනනය කිරීමට සිදුවීම නිසා ලංකා විදුලි බල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල මේ වනවිට රුපියල් බිලියන 18 ක් දක්වා වර්ධනය වී ඇතැයි අනාවරණය වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති, ඩබ්ලිව්.බී. ගනේගල මහතා පැවසුවේ පසුගිය නොවැම්බර් මාසයේ සිට මෙම ණය මුදල එකතු වූ බවයි.

    “මේ වනවිට, ජල විදුලිය නිපදවන්නේ සියයට 20 ක් විතරයි. සියයට 75 ක් විතරම විදුලිය නිපදවන්නේ ඉන්ධන මගිනුයි. මේ සඳහා විශාල වියදමක් වැය වෙනවා. විදුලි බල මණ්ඩලයේ අලාභය වර්ධනය වීමට මෙය ප්‍රධානතම හේතුව වී තිබෙනවා.“

    මේ වනවිට, විදුලි බල මණ්ඩලය විසින් විදුලිය පාරිභෝගිකයින්ගෙන් කොටසකට සහනාධාර මිලකට විදුලිය ලබාදෙන අතර එය පාඩුව තව තවත් වැඩි වීමට හේතුවක්ව තිබේ.

    විදුලි බල මණ්ඩලය 2010 සහ 2013 වසරවල හැර සෙසු වසර හතේදීම වාර්තා කළේ මෙහෙයුම් අලාභයකි.