විදුලි වාහන ආරෝපණය කිරීමේ ස්ථාන 100 ක් ළඟදීම රටපුරා

    July, 16, 2015

    විද්‍යුත් වාහන ගෙදරදී මෙන් සාමාන්‍ය ආකාරයට ආරෝපණය කර ගැනීම සඳහා විදුලිය ලබාගත හැකි ස්ථාන 100 ක් දිවයින පුරා පිහිටුවීමට වාසනා ට්‍රේඩිං සමාගම සූදානම් වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් වාසනා ට්‍රේඩිං සමාගමේ අධ්‍යක්ෂ, ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කළේ අවන්හල්, සුපිරි වෙළඳ සැල් වැනි ජනතාව කාලය ගත කරන ස්ථානවල මෙම සාමාන්‍ය ආරෝපණ ස්ථාන ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

    “මේ සඳහා අපිට ස්ථාන 190 කින් අයදුම් පත් ලැබුණා. මෙයින් ස්ථාන 100 ක් අපි තෝරාගෙන තිබෙනවා. මුළු රටම ආවරණය වන පරිදි මෙම සාමාන්‍ය ආරෝපණ ස්ථාන අපි ළඟදීම ආරම්භ කරනවා.“

    යනුවෙන් හෙතෙම පැවසීය.

    මෙම ආරෝපණ ස්ථාන විද්‍යුත් වාහන ඉතාමත් වේගයෙන් ආරෝපණය කරගන්නා ස්ථාන නොවන අතර එවැනි ස්ථාන ආරම්භ කිරීමට ඉතා විශාල ආයෝජනයක් අවශ්‍ය වේ.

    “ලංකාවේ තවමත් විද්‍යුත් වාහන ලොකු ප්‍රමාණයක් නෑ. මේ නිසා, ආරම්භයක් විදිහට මෙවැනි සාමාන්‍ය ආරෝපණය කිරීමේ ස්ථාන ආරම්භ කිරීමත් ඉතාමත් වැදගත් දෙයක්. මෙවැනි ස්ථාන වලින් පැයක පමණ කාලයක් ආරෝපණය කරගත් පසුව කිලෝ මීටර් 30 ක් පමණ ධාවනය කළ හැකියි. ලංකාවේ විද්‍යුත් වාහන ප්‍රචලිත වීමට මෙයින් අනුබලයක් ලැබේවි.“

    යනුවෙන් මෙරෙංචිගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    සමාගම විසින් පිහිටුවන සාමාන්‍ය ආකාරයට විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ මෙම ස්ථාන වලින් වෙනත් සමාගම් වලින් මිලදීගෙන තිබෙන වාහනද ආරෝපණය කළ හැකි බවත් තම සමාගමෙන් මිලදීගෙන තිබෙන වාහන ආරෝපණය කිරීමේදී ඒ සඳහා සහනයක් ලබාදෙන බවත් හෙතෙම කීය.

    ඉදිරියේදී විද්‍යුත් වාහන වේගයෙන් ආරෝපණය කිරීමේ ස්ථාන ආරම්භ කිරීමට රජයේ අවධානය මේ වනවිට යොමුව ඇත.