විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා දායක සමාජ ආරක්ෂණ අරමුදලක්

    March, 2, 2020

    ශ්‍රී ලාංකිකයන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් විදේශ රටවල රැකියාවල නිරත වී සිටින අතර, වර්තමානයේ රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ප්‍රභවය එම විදෙස්ගත ශ්‍රමිකයින් බවට පත්වී ඇත. එසේ වුවද, විදේශ ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් යම් මුදලක් ඉතිරි කිරීමට නොපෙළඹෙන බවත් ඒ හේතුවෙන් ඔවුන් හට විශ්‍රාම වයසට එළඹි පසු ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බවත් නිරීක්ෂණය වී ඇත.
    මෙයට පිළියමක් ලෙස 'සෞභාග්‍යයේ දැක්ම' ජාතික ප්‍රතිපත්තිය මඟින් විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා දායක විශ්‍රාම වැටුපක් ආරම්භ කිරීමට යෝජනා කර ඇත.
    ඒ අනුව විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා දායක සමාජ ආරක්ෂණ අරමුදලක් ඇති කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික කෙටුම්පත පිළියෙල කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීම පිණිස නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරුවලට අනුව 2019 දෙසැම්බර් මාසයේ දී, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 665 ක් දක්වා පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 13.8 ක වැඩිවීමක් වාර්තා කර තිබේ.

    සමුච්ඡිත පදනම මත, 2019 වසරේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 6,717ක්වූ අතර එය 2018 වසරේ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 7,051 ට සාපේක්ෂව සියයට 4.3ක අඩුවීමකි.