විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ක්‍රමයෙන් වැඩිවෙයි. අද රු. බි. 2.3 ක කොටස් මිල දී ගනී

    September, 27, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (27) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 9,861.62 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 17.41 ක් හෙවත් 0.18% ක ඉහළ යාමකි.

    S&P SL20 දර්ශකයේ ඒකක 7.62 ක හෙවත් 0.24% ක වර්ධනයක් අද දින වාර්තා වූ අතර දිනය අවසානයේ දී එය ඒකක 3,164.51 ක් ලෙසින් සටහන් විය.

    රු. බිලියන 5.86 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබුණි.

    අද දිනයේ විශේෂත්වය නම් රු. බිලියන 2.37 ක විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් සටහන්ව තිබීමයි. ඊයේ (26) දිනයේ දීද රු. බිලියන 2.13 ක විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබුණි.

    මේ අතර පසුගිය සතිය තුළ දී රු. බිලියන 4ක් ඉක්මවූ විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් සටහන් වී තිබිණ.

    අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට කොමර්ෂල්, HNB හා සම්පත් යන බැංකු සමාගම්වලින් සහ ACL කේබල්ස් හා ලංකා IOC යන සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.

    මේ අතර එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 10 ක් එකක් රු. 228.00 බැගින් සාකච්ඡා කළ ගනුදෙනුවක් (Crossing) ලෙසින් අද දින හුවමාරු වී තිබුණු අතර රු. බිලියන 2.28 ක පිරිවැටුමක් ඒ හරහා වාර්තා වී ඇත.

    මීට අමතරව කොමර්ෂල් බැංකුව (රු.මි. 275ක්), සෙන්ට්‍රල් ෆිනෑන්ස් (රු.මි. 58.65ක්) හා හෙල ක්ලෝතිං (රු.මි. 37.2ක්) හා  ලෙසින් අද දිනයේ වාර්තා වූ සෙසු සාකච්ඡා කළ ගනුදෙනු විය.

    අද දින සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනුවලින් ඉහළ පිරිවැටුම් වාර්තා කළ සමාගම් අතර ලංකා IOC (රු. මි. 676.77), ACL කේබල්ස් (රු.මි. 538.83) හා එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් (රු.මි. 369.31) යන සමාගම් පෙරමුණ ගැනීමට විය.