විදෙස් ගෙවීම් සඳහා ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් මත 3.5% බද්ද ඉවත් කරන්නැයි මුදල් ඇමතිගෙන් ඉල්ලයි

    March, 19, 2019

    2019 අයවැය යෝජනා අනුව විදෙස් පාර්ශවයන් වෙත කරනු ලබන ගෙවීම් වෙනුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඩෙබිට් කාඩ්පත් සඳහා පනවා ඇති 3.5% ක ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටී.

    මෙහිදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය අවධාරණය කර සිටින්නේ අයවැය යෝජනා අනුව මෙම පියවර තුළින් ඩිජිටල් සේවාවන් භාවිත කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් පැහැදිලි ලෙසම පීඩාවට පත්වනු ඇති බවයි.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) මෙම ඉල්ලීම කර තිබේ.

    මීට පෙර ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් කාඩ් පත් මගින් විදෙස් පාර්ශවයන් වෙත කරනු ලබන ගෙවීම සඳහා 2.5% ක මුද්දර ගාස්තුවක් අය කරනු ලැබූ අතර එය මෙවර 2019 අයවැය යෝජනා තුළින් 3.5% ක් දක්වා ඉහළ නංවමින් ජාතිය ගොඩනැගීමේ බද්ද ලෙස නම් කෙරුණි.

    විදෙස් ගුවන් සේවා මගින් ටිකට්පත් මිල දී ගැනීම්, හෝටල් කාමර වෙන්කිරීම්, eBay, Alibaba වැනි විද්‍යුත් වානිජ ආයතන හරහා භාණ්ඩ මිල දී ගැනීම් පමණක් නොව මෙරට තුළ ක්‍රියාත්මක Uber හා Uber Eats වැනි සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් කරනු ලබන ගෙවීම් ද අයවැය යෝජනා ප්‍රකාරව 3.5% ක ජාතිය ගොඩනැගීමේ බද්දකට යටත් වනු ඇත.