විදෙස් ප්‍රේෂණ ජූනි මාසයේ දී ඩොලර් මිලියන 274 යි 

    July, 11, 2022

    විදෙස්ගත ශ්‍රමිකයින් විසින් පසුගිය 2022 ජූනි මාසයේ දී මෙරටට එවා ඇති සමස්ත ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 274.3 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    ඒ අනුව 2022 වසරේ පළමු අර්ධය තුළ දී ලැබී ඇති මුළු ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 1,609.9 ක් වන අතර එය 2021 වසරේ පළමු භාගයේ වාර්තා වී ඇති ඩොලර් මිලියන 3,324.4 ක වටිනාකම හා සැසඳීමේ දී 51.6% ක පහළ යාමක් වේ.

    2021 ජූනි මාසයේ දී මෙරටට ලැබී ඇති ඩොලර් මිලියන 478.4 ක්වූ ප්‍රේෂණවල රුපියල් වටිනාකම රු. බිලියන 95.6 ක් ලෙසින් සටහන් වන අතර 2022 ජූනි මාසයේ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 274.3ක් වුව ද එහි රුපියල් වටිනාකම රු. බිලියන 98.8 ක් ලෙසින් සටහන්ව තිබේ.

    2022 මැයි මාසයේ දී ඩොලර් මිලියන 304.1 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබුණි. එය රු. බිලියන 109.2 ක වටිනාකමකට සමාන අගයකි.