විදෙස් මුදල් ඉදිරියේ ශ්‍රී ලංකා රුපියලේ අභිමානය තවදුරටත් ගිලිහෙයි

    February, 22, 2018

    විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම මේ වන විට වේගවත් වී තිබෙන බවක් වාර්තා වේ.

    2017 වසරේ දී සියයට 2.0 කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල, 2018 පෙබරවාරි 21 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 1.6 කින් තවදුරටත් අවප්‍රමාණය විය.

    මේ අතර ජපන් යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 2018 පෙබරවාරි 21 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී සියයට 6.1 කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. මෙහි ඇති කැපී පෙනෙන කරුණ නම් 2017 වසර පුරාවටම යෙන්වලට වඩා රුපියලේ අවප්‍රමාණය සියයට 5.1 ක් පමණක් වීමයි. මෙම තත්ත්වය ජපානයෙන් ආනයනය කරනු ලබන මෝටර් රථ වාහන ඇතුළු භාණ්ඩ සඳහා ගෙවීමට සිදුවන රුපියල් වටිනාකම ඉහළ යාමට හේතු වී තිබේ.

    මෙ අතර 2018 පෙබරවාරි 21 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ස්ටර්ලිං පවුමට එරෙහිව සියයට 5.5 කින් ද, යුරෝ හමුවේ සියයට 4.8 කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරය ඉදිරියේ සියයට 2.7 කින් ද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.