විදෙස් සමාගම්වල ආයෝජනයට ඇමතුමක් ඔබටත් ලැබුණා ද? – මෙන්න ඇත්ත

    October, 14, 2019

    විදේශීය සමාගම් කොටස්වල ආයෝජනය සඳහා අවස්ථාව ලබා දෙමින් ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන බවට, විදෙස් කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයින් යැයි හඳුන්වනු ලබන පුද්ගල කණ්ඩායම් දුරකථන ඇමතුම් හරහා ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධන කටයුතු සිදුකරමින් යනු ලබන බව වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ සොයා බැලීමක දී වාර්තා වූයේ එවැනි කාර්යාලයක් මේ වන විට කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වන බවයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර ඇති දැන්වීමක කියැවෙන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ නියාමකයා ලෙසින්, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට නීත්‍යානුකූල බලය ඇත්තේ කොටස් තැරැව්කාර සමාගම්වලට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට බලපත්‍ර නිකුත් කිරීමට පමණක් බවයි. එසේම වෙනත් රටවල දී නියෝජිතයන් ලෙස ක්‍රියාත්මක වීමට හෝ විදේශීය කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් ලෙස කටයුතු කිරීමට, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව බලපත්‍ර ලබාදීමක් සිදු නොකරනු ලබන බව එම දැන්වීමේ වැඩිදුරටත් සඳහන් වේ.

    මෙයාකාරයෙන් ක්‍රියාත්මක වන ආයතන සම්බන්ධයෙන් විදෙස් චිත්‍රපට පවා තැනී ඇති අතර The Wolf of Wall Street හා Boiler Room ආදිය ඊට කදිම උදාහරණ වේ. ඉහත දැක්වෙන ඡායාරූපය The Wolf of Wall Street ජවනිකාවකි. එහි එන ජෝර්ඩාන් බෙල්ෆෝට් නම් පුද්ගලයා වයස විසිගණන්වල දී තමන්ගේම කොටස් තැරැව්කාර සමාගමක් ආරම්භ කරමින් මිලියනපතියෙකු වන ආකාරය හා මත්ද්‍රව්‍ය, ගණිකාවන් හේතුවෙන් පරිහානියට පත්වන ආකාරය එයින් කියැවේ. ඔහු මුදල් උපයන්නේ රටේ ප්‍රමුඛතම ධනවතුන් මෝඩයින් බවට පත්කරවමිනි. Boiler Room චිත්‍රපටය තුළින් ද මේ හා සමානවම කතාවක් කියැවෙන අතර එහි එන කොටස් තැරැව්කාර ආයතනය විසින් සිය ගනුදෙනුකරුවන්ට අලෙවි කරනුයේ ලොව කිසිම තැනක නැති සමාගම්වල කොටස් ය.

    ශ්‍රී ලංකාව තුළ ද මෙවැනි ආයතන ක්‍රියාත්මක වීමට බොහෝ විට ඉඩ ඇති අතර නීතියේ පවතින හිඩැස් ඒ සඳහා ඔවුන් බොහෝ දුරට ප්‍රයෝජනයට ගනු ලබයි. එබැවින් ආයෝජකයින් සිය ආයෝජනයන් සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වීමක් අත්‍යාවශ්‍යයෙන් සිදුවිය යුතු අතර යම් වංචාවකට හසුවුවහොත් එහි පාඩුව ආයෝජකයා විසින්ම විඳ දරා ගැනීමට සිදුවනු ඇත.

    පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් මීට අදාළව පළ කර ඇති දැන්වීමයි.