විදේශිකයන්ට රජයේ සුරැකුම්පත් ආයෝජනය සඳහා අවදානම් රහිත වැඩපිළිවෙලක්

    September, 23, 2020

    රට තුළට විදේශ මුදල් ගලා ඒම දිරිමත් කිරීමේ අරමුණින් නේවාසික නොවන ආයෝජකයින්ට රජයේ සුරැකුම්පත්වල සහ අනෙකුත් අංශයන්හි ආයෝජනය කිරීමට හැකිවන පරිදි පහසුකම් සැලසීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගනු ලැබ ඇත.

    ඒ අනුව, ‘වසරක සිට වසර දෙකක කාලයක් දක්වා ඇමරිකානු ඩොලර්/ ශ්‍රී ලංකා රුපියල් මිල දී ගැනීමේ - විකිණීමේ මුදල් හුවමාරු‘ පහසුකම් හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව කටයුතු කිරීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ඇති විය හැකි විදේශ විනිමය අවදානම සීමා කිරීමේ අරමුණින් පහත සඳහන් අයුරින් කටයුතු කිරීම පිණිස මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

    • එකම විදේශ විනිමය අනුපාතිකයක් යටතේ මූලික විදේශ විනිමය හුවමාරුව හා පසුව සිදු කරනු ලබන හුවමාරු සිදු කිරීම.
    • අදාළ ආයෝජනය කල් පිරීමට පෙර සිදුකරනු ලබන විදේශ විනිමය හුවමාරු සඳහා, දඩයකට යටත්ව ඒ වන විට පවතින විදේශ විනිමය අනුපාතිකයට එම හුවමාරුව සිදුකිරීමට අවසර ලබා දීම.
    • මෙම පහසුකම රට තුළට විදේශ විනිමය ගලා එන්නේ නම් පමණක් අදාළ වන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 25ක අවමයේ සිට ඩොලර් මිලියන 1,000ක උපරිමයකට යටත් කිරීම.
    • මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී ඇමරිකානු ඩොලර්/ ශ්‍රී ලංකා රුපියල් හුවමාරු අනුපාතයේ ක්ෂයවීමක් සිදුවුවහොත් ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවිය හැකි අලාභය මහා භාණ්ඩාගාරයේ පිරිවැයක් වශයෙන් සැලකීමට හැකි වන පරිදි ඉදිරියේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ලාභාංශ මහ බැංකුව වෙත මාරු කිරීමේ දී හිලව් කිරීම.