විදේශීය බැල්ම වැඩිවේ. අද කොටස් පොළේ රැළි මෙන්න!

    April, 2, 2014

    අද කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ ගියද විශේෂයෙන්ම කැපී පෙනුනේ විදේශීය ආයෝජකයින් විසින් රුපියල් මිලියන 853 ක් වටිනා ශුද්ධ කොටස් මිලදීගැනීමක් කිරීමයි.

    මේ අනුව, අද විදේශීය ආයෝජකයින් විසින් රුපියල් මිලියන 1033 ක් වටිනා කොටස් මිලදීගත් අතර රුපියල් මිලියන 180 ක් වටිනා කොටස් විකිණීම කළේය.

    දිනයේ වෙළඳ පොළ ක්‍රියාකාරීත්වයට විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය සියයට 31 කි.

    අද සමස්ත මිල දර්ශකය ඒකක 2.95 කින් ඉහළ ගොස් ඒකක 6,004.78 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 17.96 කින් පහළ ගොස් ඒකක 3,281.94 ක් විය. පිරිවැටුම රුපියල් මිලියන 1946.8 කි.

    අද ගිවිසගත් කොටස් ගනුදෙනු හතරක් වාර්තා වූ අතර විශාලතම ගිවිසගත් කොටස් ගනුදෙනුව සිදුවූයේ සිට්‍රස් ලෙෂර් සමාගමේයි. මෙහිදී, එකක් රුපියල් 15.50 ක් වන කොටස් මිලියන 25.66 ක් ගනුදෙනු විය. මීට අමතරව, චෙව්රන් ලුබ්රිකන්ට් සමාගමේ කොටස් මිලියන 0.11 ක් කොටසක් රුපියල් 272 ක් බැගින්ද, හැටන් නැෂනල් බැංකුවේ කොටස් මිලියන 0.3 ක් කොටසක් රුපියල් 152.50 ක් බැගින්ද, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් කොටස් මිලියන 0.22 ක් කොටසක් රුපියල් 235 ක් බැගින්ද ගිවිසගත් ගනුදෙනු ලෙස හුවමාරු විය.

    අද දිනයේදී ජෝන් කීල්ස් කොටසක් රුපියල් 1.20 කින් ඉහළ ගොස් රුපියල් 233.50 ක් වෙද්දී, ශ්‍රී ලංකා ටෙලිකොම් කොටසක් රුපියල් 1.60 කින් ඉහළ ගොස් රුපියල් 47.00 ක්ද, සොෆ්ට් ලොජික් හොල්ඩින්ග්ස් කොටසක් රුපියල් 1.30 කින් ඉහළ ගොස් රුපියල් 12.10 ක්ද වූ අතර වැඩිපුරම කොටස් ගනුදෙනුවීම සිදුවූයේ සිට්‍රස් ලෙෂර් සමාගමේයි. එම ප්‍රමාණය කොටස් මිලියන 25.7 කි. මේ අතර, සොෆ්ට් ලොජික් හෝල්ඩින්ග්ස් කොටස් මිලියන 20.4 ක්ද ගනුදෙනු වී තිබේ.

    වැඩිම ශුද්ධ විදේශීය කොටස් මිලදී ගැනීමක් සිදුවූ සමාගම බවට පත් වෙමින් විදේශිකයින් විසින් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ රුපියල් මිලියන 802.7 ක කොටස් මිලදී ගෙන තිබෙන අතර හැටන් නැෂනල් බැංකුවේ විදේශිකයින් මිලදීගෙන තිබෙන කොටස් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 47 කි.

    විදේශිකයින් වැඩිපුර කොටස් විකුණා දැමූ සමාගමක් ලෙස හේමාස් හෝල්ඩින්ග්ස් සඳහන් කළ හැකි අතර එහි ශුද්ධ විකුණුම් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 23.7 කි.

    අද බුකිට් ඩාරා කොටසක් රුපියල් මිලියන 39.80 කින් පහළ ගොස් රුපියල් 560 ක් වෙද්දී ලයන් බෘවරි කොටසක් රුපියල් 19 කින් පහළ ගොස් රුපියල් 362 ක්ද ලංකා දුම්කොළ සමාගමේ කොටසක් රුපියල් 7.90 කින් පහළ ගොස් රුපියල් 106.10 ක්ද වී ඇත.