විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය, කථිකාචාර්යවරුන්ට ඔරුගොඩවත්තෙන් මහල් නිවාස. සින්නක්කර අයිතිය

    July, 6, 2020

    පහසු ගෙවීම් ක්‍රම හරහා සින්නක්කරව මිල දී ගැනීමේ අවස්ථාව

    ඉතිහාසයේ පළමු වතාවට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්ය මහාචාර්ය, කථිකාචාර්යවරුන්ට කොළඹ නගරය තුළින් මහල් නිවාස සින්නක්කරව මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (06) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,

    “විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය, කථිකාචාර්යවරුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් කොළඹ නගරයේ අවට තමන්ට නිවසක් නොමැතිවීම. බැහැර ප්‍රදේශවල ඉඳන් පැය ගණන් වාහන තදබදයට හසුවෙමින් තමයි ඔවුන් දේශන සඳහා පැමිණෙන්නේ. දැන් විශ්වවිද්‍යාලය පිහිටුවලා තියෙන්නේ කොළඹ මැද්දේ. කොළඹ විශ්වවිද්‍යාලය, වෛද්‍ය පීඨය. දැන් ඊළඟට කැලණිය විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. මොරටුව, හෝමාගම, හෝමාගම නම් ටිකක් ඈතට වෙන්න කියලා කියන්න පුළුවන්.“

    “දැන් කැලණිය, කොළඹ, ජයවර්ධනපුර, මොරටුව සහ සෞන්දර්ය කියන මේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු දහස් ගාණක් ඉන්නවා, ඔවුන්ට නිවාස නැහැ. ඒ නිවාස හිඟය උග්‍ර ප්‍රශ්නයක්. ඒ නිසා අපි අද උදේත් මහාචාර්යතුමාත් (විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති), අමාත්‍යාංශයේ ලේකම්තුමත්, මමත්, ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්තුමත් දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුවා, අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට, මේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට සින්නක්කර මිල දී ගත හැකි වන පරිද්දෙන් රජය මගින් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකරන්න ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන්. ඔරුගොඩවත්තෙන් තමයි මාර්ග පද්ධතිය විශාල ලෙස සංවර්ධනය වෙලා ආරම්භ වෙන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුළ දී ගෙවීමේ පහසු ක්‍රමයක් යටතේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට කොළඹ නගරය තුළින් මහල් නිවාස තනලා දෙන්නත් බලාපොරොත්තු වෙනවා.“

    “අතිගරු ජනාධිපතිතුමත්, අග්‍රාමාත්‍යතුමත් උපදෙස් දීලා තිබුණා නාගරික සංවර්ධන අධිකාරියට මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ නිවාස ප්‍රශ්නයට නාගරික සංවර්ධන අධිකාරිය මගින් යම්කිසි මැදිහත් වීමක් කරන්න කියලා.  ඒ අනුව තමයි අපි සාකච්ඡා කළේ. මම හිතනවා, එය අපි ඉදිරි කාලය තුළ දී සාර්ථක කර ගත්තොත් අපේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ විශාල ජයග්‍රහණයක් කියලා.“