• Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • Vision Care

විෂන් කෙයා ඇකඩමිය දෘෂ්ටිමිතික දිනය සහ 12 වන වාර්ෂික විද්‍යාත්මක සැසිය සාර්ථකව නිම කරයි

July, 28, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය යටතේ ඇති අධ්‍යාපන ආයතනය වන විෂන් කෙයා ඇකඩමිය, සිය දෘෂ්ටිමිතික දිනය සහ 12 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිය ”සුපැහැදිලි දැක්මක් නව්‍යකරණය වූ ලොවක්”යන තේමාව යටතේ පසුගියදා මවුන්ට් ලෝටස් රෝහල් පරිශ‍්‍රයේදී සාර්ථකව නිම කරන ලදී.

මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් වශයෙන් ශ‍්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවල් මහත්මිය සහ සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙසින් ශ‍්‍රී ලංකා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති උදේනි වික‍්‍රමාරච්චි මහතා සහභාගී විය. විෂන් කෙයා ඇකඩමිය විසින් වාර්ෂිකව මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ දෘෂ්ටි විද්‍යාව සහ ශ‍්‍රවණ සත්කාර ක්ෂේත‍්‍රය පිළිබඳ සිසුන්ගේ දැනුම වර්ධනය කිරීම, පර්යේෂණ අධ්‍යයන කටයුතු සඳහා ඔවුන් දිරිමත් කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීමටයි. එමෙන්ම මෙම සැසිය විෂන් කෙයා ඇකඩමියෙහි නිල සහතික පත් ප‍්‍රදානෝත්සවය වන අතර විෂන් කෙයා ඇකඩමිය හරහා පාඨමාලා සාර්ථකව නිම කළ සිසුන් සඳහා සහතික පත් ප‍්‍රදානය කිරීම ද සිදු කරන ලදී.

සමාරම්භක ප‍්‍රධාන දේශනය පවත්වන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, අක්ෂි ශල්‍ය වෛද්‍ය මධුවන්ති දිසානායක මහත්මිය විසිනි. ඉන් අනතුරුව, දෘෂ්ටි විද්‍යාව සහ ශ‍්‍රවණ සත්කාර ක්ෂේත‍්‍රයට අදාළ විවිධ මාතෘකා යටතේ අධ්‍යාපනික සැසිවාරයන් කීපයක්ම පවත්වන ලදී. පළමු වන සැසිවාරයේ දී අක්ෂි රෝග විනිශ්චය පිළිබඳව හරවත් දේශනයක් අක්ෂි විශේෂඥ උපදේශක වෛද්‍ය ඞී.ආර්.ආර්. කොඩිකාර විසින් පවත්වන ලද අතර වෛද්‍ය අරුණ ප‍්‍රනාන්දු, Essilor ඉන්දියා පුද්ගලික සමාගමෙහි අනන්ත් ලක්ෂ්මි, ශල්‍ය වෛද්‍ය විශේෂඥ සංජීවනී රූපසිංහ වැනි වූ විශේෂඥ කථිකයන් විසින් දේශනයන් පවත්වන ලදී.

විෂන් කෙයා ඇකඩමියේ සිසුන් 34 දෙනෙකුට සහතික පත් ප‍්‍රදානය කෙරුණු අතර පර්යේෂණ අංශ කිහිපයක් සඳහා සිසුන් කිහිප දෙනෙකුට සම්මාන පිරිනමන ලදී. පර්යේෂණ අංශ කිහිපයකින් පුද්ගලයන් කිහිප දෙනෙකුම සම්මාන ලබා ගත්හ. සම්මානලාභීන් වූයේ චානුරා මහින්දපාල - හොඳම වාචික ඉදිරිපත් කිරීම (ජ්‍යෙෂ්ඨ) චන්ද්‍රමෝහන් තිලක්ෂණා - හොඳම වාචික ඉදිරිපත් කිරීම (කනිෂ්ඨ/DOP), ප‍්‍රමෝද්‍යා තත්සරණි - හොඳම වාචික ඉදිරිපත් කිරීම (කනිෂ්ඨ/COA) රවිඳු දේශාන් - හොඳම වාචික ඉදිරිපත් කිරීම (කනිෂ්ඨ/CVT) කාවින්දි සිල්වා - හොඳම වාචික ඉදිරිපත් කිරීම (CDO) රවිඳු දේශාන් - වසරේ හොඳම පර්යේෂණය, අමිල චන්ද්‍රසේකර - වසරේ හොඳම පෝස්ටරය, සුරේෂ් සුලක්ෂන් - වසරේ හොඳම නවෝත්පාදනය, ධාරුන්නියා කොමලසේවරන් - හොඳම පර්යේෂණ ඉදිරිපත් කිරීම-ශ‍්‍රව්‍ය විද්‍යාව සහ ඈන් සුරේනි - හොඳම පෝස්ටරය-ශ‍්‍රව්‍ය විද්‍යාව.

මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් විෂන් කෙයා ඇකඩමියේ ප‍්‍රධානී විද්‍යා ජයරත්න ප‍්‍රකාශ කළේ, ”පසුගිය වසරේ මාර්ගගත ක‍්‍රමයට සිදුකෙරුණු දෘෂ්ටිමිතික දිනය සහ වාර්ෂික විද්‍යාත්මක සැසිය මෙම වසරේ දී මේ ආකාරයෙන් සැමරීමට ලැබීම සම්බන්ධයෙන් අපි සතුටුට පත් වෙනවා. ඇකඩමියේ සිසුන් සහ කාර්ය මණ්ඩලය මෙම උත්සවය සැමවිටම ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීමට දැඩි කැපවීමකින් කටයුතු කළා. ශ‍්‍රී ලංකාවේ අක්ෂි සහ ශ‍්‍රවණ සත්කාර ක්ෂේත‍්‍රවල දැනුම ඉහළ නැංවීමට අපගේ කාර්යභාරය ඉටු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වන අතර අනාගතයේදීත් එය එලෙසින්ම සිදුකිරීමට අපි උත්සාහ දරනවා.”

සිය කාර්ය මණ්ඩලය පුහුණු කිරීම උදෙසා 2008 දී මෙහෙයුම් ආරම්භ කරන ලද විෂන් කෙයා ඇකඩමිය, පසුව අක්ෂි ආරක්ෂණ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීයවේදීත්වය අපේක්ෂා කරන ඕනෑම අයෙකුට අධ්‍යාපනික සහය ලබාදීම සඳහා සිය සේවාවන් පුළුල් කරන ලදී. ශ‍්‍රී ලංකා තෘතියික සහ වෘත්තීය අධ්‍යපන කොමිෂන් සභාවේ (TVEC) අධීක්ෂණය යටතේ අක්ෂි සහ ශ‍්‍රවණ සත්කාර පිළිබඳ පූර්ණ කාලීන පාඨමාලා 4ක් පවත්වයි. ඒවා නම් දෘෂ්ටි විශේෂඥ සහායක සහතික පත‍්‍ර වැඩසටහන (COA) ශ‍්‍රවණමිතික සහතිකපත‍්‍ර පාඨමාලාව (CAD) දෘෂ්ටි විශේෂඥ සහතිකපත‍්‍ර (CDO) සහ දෘෂ්ටිමිතික ඩිප්ලෝමා පාඨමාලාව (DOP) විෂන් කෙයා ඇකඩමිය ඉන්දියාවේ දෘෂ්ටිමිතික විද්‍යාල සහ පාසල් සංගමයේ Schools and Colleges of Optometry (ASCO) පූර්ණ කාලීන සාමාජිකයෙකු වන අතර ලෝක දෘෂ්ටි විද්‍යාව පිළිබඳ කවුන්සිලයේ (World Council of Optometry) ලියාපදිංචියද ලබාගෙන ඇත.