වෙනසක් සඳහා  AI: 2024 Microsoft Sri Lanka Imagine Cup ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ

    April, 17, 2024

    2023 දෙසැම්බර් මාසයේදී Microsoft Sri Lanka විසින් Imagine Cup තරගයේ දේශීය අදියර ආරම්භ කරන ලදි. Imagine Cup යනු AI තාක්ෂණය භාවිතයෙන් නවෝත්පාදන විසඳුම් නිර්මාණය කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව සලසා දෙන ජාත්යන්තර තලයේ තරගයකි. මේ සඳහා දිවයිනේ නන් දෙසින් කණ්ඩායම් සහභාගී වූ අතර, ඒ අතරින් HearMe, DevRelax සහ Autumn යන කණ්ඩායම් Microsoft Sri Lanka Imagine Cup හි ජයග්‍රහණ හිමිකරගත්හ. මෙම කණ්ඩායම් අතරින් HearMe සහ DevRelax යන කණ්ඩායම් මෙම තරගයේ ගෝලීය අර්ධ අවසන් වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබේ. ඒ අනුව ගෝලීය අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 19 අතරට ශ්‍රී ලාංකික කණ්ඩායම් දෙකක්ද එක්වී සිටින අතර, මෙය ශ්‍රී ලංකාව සනිටුහන් කළ සුවිශේෂී ජයග්‍රාහී සන්ධිස්ථානයකි.

    දේශීය මට්ටමේ ජයග්‍රහණ හිමිකරගත් කණ්ඩායම් තුනේ සාමාජික සාමාජිකාවන්ට Microsoft Sri Lanka කාර්යාලය වෙත පැමිණ අනෙකුත් කණ්ඩායම්වල සාමාජික සාමාජිකාවන් සමග අදහස් හුවමාරු කරගැනීමටත්, ඔවුන්ගේ නවෝත්පාදන දැකබලා ගැනීමටත් අවස්ථාව ලැබිණි. එමෙන්ම ඔවුන් Microsoft සමාගමේ ඉන්දියාව සහ දකුණු ආසියාව සඳහා සභාපති පුනීත් චන්දෝක් මහතා සහ Microsoft සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතාද හමු වූ අතර, එම නිලධාරීහු මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දක්ෂතා අගය කරමින් ඔවුන්ට තම නිර්මාණ තවදුරටත් වැඩිදියුණු කරගැනීම සඳහා වටිනා උපදෙස්ද ලබාදුන්හ.

    HearMe සහ DevRelax යන කණ්ඩායම් දෙකෙහිම සාමාජිකත්වය දරන්නේ Sri Lanka Institute of Information Technology (SLIIT) හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය. HearMe කණ්ඩායම විසින්, ශ්‍රවණාබාධ සහිත දරුවන්ට වාග් කෝෂය සහ භාෂා හැකියාවන් වැඩිදියුණු කරගැනීමට උපකාරී වන විසඳුමක් ඉදිරිපත් කරන ලද අතර, තමන් ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔවුහු මෙසේ අදහස් පළකළහ. “ශ්‍රවණ දුෂ්කරතා සහිත දරුවන්ගේ ජීවිතවල සුභවාදී වෙනසක් ඇතිකිරීම අරමුණු කරගත් අප‍ගේ නිර්මාණය මෙම තරගයට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අප බෙහෙවින් කෘතඥ වනවා. එම දරුවන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීමට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ භාෂා ඉගෙනුම් ගමන්මග තුළ සහයෝගී සහකරුවෙකු විය හැකි විසඳුමක් ලබාදීම අපගේ ඉලක්කය වුණා.”

    DevRelax කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද්දේ, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ ආතතිය අවම කිරීම සඳහා පරිපූර්ණ විසඳුමක් ලබාදීම අරමුණු කරගෙන, එම ක්ෂේත්‍රයේ විශේෂ වූ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නිර්මාණය කළ විසඳුමකි. ඒ සම්බන්ධයෙන් ඔවුහු මෙසේ අදහස් පළකළහ. “තොරතුරු හා තාක්ෂණ ක්ෂේත්‍රවල වෘත්තිකයන්ගේ යහපැවැත්ම යනු ඉක්මනින් විසඳුම් සොයාගත යුතු ගැටලුවක්.  ඔවුන්ගේ හැඟීම් සහ ආතතිය කළමනාකරණය කරගැනීමට අත්වැලක් වීමේ අරමුණින් අප මේ විසඳුම නිර්මාණය කළා. කණ්ඩායමක් වශයෙන්, මේ නවෝත්පාදනය පාදක කරගෙන ව්‍යාපාරයක් ආරම්භ කරමින්, ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් වර්ධනය වන මෙම ක්ෂේත්‍රයට අත්වැලක් වීම අපගේ ඉලක්කයයි.”

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) Team Autumn විසින් තරගයට ඉදිරිපත් කරන ලද්දේ, දෙමාපියන්ට තම දරුවන්ගේ ඔටිසම් ලක්ෂණ කල්තබා හඳුනා ගැනීමට උපකාරී වන විසඳුමකි. “මෙමගින් දෙමාපියන්ට දරුවන්ගේ ඔටිසම් ලක්ෂණ ඉක්මනින් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය සහය ලබාගැනීමටත්, අදාළ ක්‍රියාකාරකම් කරවීමටත් අවස්ථාව ලැබෙනවා. එය දරුවන්ගේ සන්නිවේදන සහ චිත්තවේග නියාමන හැකියාවන් වැඩිදියුණු කිරීමට උපකාරී වේවි.” ඔවුහු පැවසූහ.

    “Microsoft Imagine Cup Sri Lanka යනු තාක්ෂණය ඔස්සේ අපගේ අනාගතය හැඩ ගස්වන තරුණ පරපුරේ අසීමිත හැකියාවන් හොඳින් නිරූපණය කළ තරගයක්. ඔවුන්ගේ නිර්මාණශීලීත්වය හා ගැටලු විසඳුමේ හැකියාව, රටේ සංවර්ධනයට මෙන්ම, තරගකාරීත්වය දිනෙන් දින ඉහළ යන ලෝකයක ගෝලීය වශයෙන් තරගකාරී වීමට අතිශයින් වැදගත්. ඒ නිසා මා ඒ ගුණාංග දිරිගැන්වීමට කැමතියි. අර්ධ අවසන් තරගවලට සුදුසුකම් ලැබීම වෙනුවෙන් මා HearMe සහ DevRelax කණ්ඩායම්වලට උණුසුම් සුබපැතුම් පිරිනමන අතර, නවෝත්පාදනය ඔස්සේ ඔවුන් තම විසඳුම් තවදුරටත් දියුණු කරගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.” ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා Microsoft ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා පැවසී ය.

    2024 Microsoft Sri Lanka Imagine Cup හි අරමුණ වන්නේ, AI තාක්ෂණය භාවිතයෙන් ප්‍රයෝජනවත් නවෝත්පාදන සිදුකළ හැකි තරුණ තරුණියන් සවිබල ගන්වමින්, ශ්‍රී ලංකාවට AI තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අත්වැලක් වීම ය. ගෝලීය අර්ධ අවසන් තරගවලින් පසුව, මැයි මාසයේදී පැවැත්වෙන Microsoft Build වැඩසටහන අතරතුර 2024 Microsoft Global Imagine Cup ලෝක ශූරයන් කිරුළු පළඳිනු ඇත. ජයග්‍රාහී කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 100,000 ක ත්‍යාග මුදලක් හිමිවන අතර, Microsoft සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙලා  සමඟ උපදේශන සැසියකට එක්වීමටද ඔවුන්ට අවස්ථාව හිමි වේ.

     

    ඡායාරූප විස්තරය - 2024 Microsoft Sri Lanka Imagine Cup ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් Microsoft සමාගමේ ඉන්දියාව සහ දකුණු ආසියාව සඳහා සභාපති පුනීත් චන්දෝක් මහතා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා Microsoft ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා සහ තවත් Microsoft නියෝජිතයන් පිරිසක් සමග