වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය නියාමනයට පියවර

    December, 6, 2019

    සුළු අපනයන භෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ හා දිරිමත් කිරීමේ අරමුණින් මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගැසට් නිවේදන දෙකක් මගින් භාණ්ඩ කිහිපයක ආනයනය සීමා කිරීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුඳු, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු සහ කරාබු නැටි ආනයනය තහනම් කර ඇති අතර මුදල් පනතේ වාණිජ කේන්ද්‍රස්ථාන නියෝග අනුව නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය මගින් ඍජු ප්‍රතිඅපනයන හා සුළු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් සිදු කෙරෙන කුළුබඩු ආනයනය තහනම් වේ. දිස්ත්‍රික්ක 9ක පමණ කෘෂි නිෂ්පාදන වගා කරන ගොවීන්ට මින් ප්‍රතිලාභ හිමි වනු ඇත.

    ආනයන අපනයන පාලන පනතේ රෙගුලාසි ප්‍රකාරව නිකුත් කර ඇති දෙවැනි ගැසට් නිවේදනය හරහා දේශීය වශයෙන් ගුණාත්මක බවින් ඉහළ හා තරගකාරී ගෘහ කර්මාන්ත වන වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය නියාමනය කිරීමට පියවර ගෙන ඇත.

    ප්‍රතිනැව්ගත කිරීම හෝ ඕනෑ ම ප්‍රතිඅපනයන ව්‍යාපාර කටයුත්තක් සඳහා ව්‍යවසායකයකුට කසළ හා කසළ පිරිසැකසුම් මෙන් ම ප්‍රතිචක්‍රීකරණයට අදාළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා අවසර දෙනු නොලැබේ. එමගින් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ දේශීය අමුද්‍රව්‍ය සමග තත්ත්වයෙන් පහළ ආනයනික අමුද්‍රව්‍ය කලවම් කර ප්‍රතිඅපනයනය කිරීම වැළකෙනු ඇත.

    අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා වශයෙන් මෙම පියවර ගෙන ඇත්තේ, ප්‍රමිතියකින් තොරව සිදු කෙරෙන ප්‍රතිඅපනයන හේතුවෙන් අපනයන සන්නාමයක් වශයෙන් ශ්‍රී ලංකාවට ඇති කීර්ති නාමයට සිදු වන හානිය වළක්වා ගැනීමේ අරමුණිනි.