• Ada Derana BIZ Sinhala
  • Continued decline
  • sri lanaka
  • trade deficit

වෙළෙඳ හිඟයේ අඛණ්ඩ පහළ යෑමක්

June, 16, 2022

2022 වසරේ අප්‍රේල් මාසයේ දී ආනයන වියදම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව දෙවන මාසයටත් අඩු වීමක් වාර්තා කළ අතර, අපනයන ඉපැයීම් ඉහළ ගියේය. රේගුවෙන් ලද මූලික දත්තවලට අනුව, ආනයනවල අඩුවීම 2022 වසරේ මැයි මස තවදුරටත් ශීඝ්‍ර වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වෙළඳ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කළේය. මේ අතර, සංචාරක පැමිණීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර මාසයට සාපේක්ෂව 2022 වසරේ අප්‍රේල් මාසයේ දී මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, විදේශීය ජංගම ගිණුමේ ස්ථායීතාවයට සහය දක්වමින් 2022 මැයි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ යළි ඉහළ ගියේය. 2022 වසරේ අප්‍රේල් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීම් වාර්තා විය. දේශීය විදේශ විනිමය වෙළඳපොළේ අඛණ්ඩ පීඩනය සැලකිල්ලට ගනිමින්, අවිධිමත් වෙළඳපොළේ ක්‍රියාකාරකම් සීමා කිරීමට සහ නිල සහ අවිධිමත් වෙළඳපොළ විනිමය අනුපාතික අතර පරතරය අඩු කිරීමට උපකාරී වූ විවෘත ගිණුම් සහ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම මත සිදුකල ආනයනයන් සීමා කිරීම් ඇතුළු ක්‍රියාමාර්ග 2022 වසරේ මැයි මාසයේදී මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. තවද, පෙර දින අන්තර් බැංකු වෙළඳපොළේ තීරණය වූ විනිමය අනුපාතිකය මත පදනම්ව, මහ බැංකුව විසින් 2022 වසරේ මැයි මස 13වැනි දින සිට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට විචලන මට්ටම (දෙපසටම අදාළ විචලන සීමා ඉඩ හැරීම් සමඟ) පිළිබඳව දෛනික මාර්ගෝපදේශ සැපයීම ආරම්භ කරන ලදී. මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය වර්ධනය වී ඇත.

 

වෙළඳ භාණ්ඩ ශේෂය සහ වෙළඳ මිල අනුපාතය

වෙළඳ ශේෂය: හදිසි නොවන ආනයන අධෛර්යමත් කිරීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ඇතිව 2022 වසරේ අප්‍රේල් මාසයේ දී අඛණ්ඩව සිව්වන මාසයටත් වෙළඳ හිඟය මාසික ලක්ෂ්‍යමය පදනම මත පහළ යෑමක් වාර්තා කළේය. වෙළඳ ගිණුමේ හිඟය, 2021 වසරේ අප්‍රේල් මාසයේ දී වාර්තා වූ එ. ජ. ඩොලර් මිලියන 889ක හිඟයට සාපේක්ෂව, 2022  වසරේ අප්‍රේල් මාසයේ දී එ. ජ. ඩොලර් මිලියන 729ක් දක්වා පහළ ගියේය. කෙසේ වුව ද, 2022 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලපරිච්ඡේදය තුළ වෙළඳ ගිණුමේ සමස්ත හිඟය, 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ එ. ජ. ඩොලර් මිලියන 2,948 සිට  එ. ජ. ඩොලර් මිලියන 3,131ක් දක්වා පුළුල් විය. වෙළඳ ගිණුමේ සමස්ත හිඟය පුළුල් වීම සඳහා බලපෑ ප්‍රධාන අයිතම රූප සටහන 1 මගින් දැකවේ.

වෙළඳ මිල අනුපාතය: අපනයන සහ ආනයන මිල ගණන් අතර අනුපාතය දැක්වෙන වෙළඳ මිල අනුපාතය, 2021 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 2022 වසරේ අප්‍රේල් මාසයේ දී සියයට 10.6කින් පහළ ගිය අතර, අපනයන මිල ගණන් ඉහළ යෑමට වඩා වැඩි වේගයකින් ආනයන මිල ගණන් ඉහළ යෑම මේ සඳහා හේතු විය.

වෙළඳ භාණ්ඩ අපනයන ක්‍රියාකාරීත්වය

සමස්ත අපනයන: 2022 වසරේ අප්‍රේල් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම, එ. ජ ඩොලර් මිලියන 970ක් දක්වා 2021 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 18.5කින් වර්ධනය විය.

කාර්මික අපනයන සහ කෘෂීකාර්මික අපනයන ඉපැයීම්වල වර්ධනයක් දක්නට ලැබුණු අතර, ඛනිජමය අපනයන වල පහළ යෑමක් දක්නට ලැබුණි. 2022 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලපරිච්ඡේදය තුළ  සමස්ත අපනයන ආදායම, පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ පාවති එ. ජ. ඩොලර් මිලියන 4,219ය සාපේක්ෂව සියයට 11.0කින් ඉහළ ගියේය.

කාර්මික අපනයන: කාර්මික භාණ්ඩ අපනයන ආදායම, 2021 වසරේ අප්‍රේල් මාසයට සාපේ්ක්ෂව 2022 වසරේ අප්‍රේල් මාසයේ දී සියයට 29.1 කින් ඉහළ ගියේය. කාර්මික භාණ්ඩ බොහෝමයක අපනයන ආදායම ඉහළ ගිය අතර, සමස්ත වැඩි වීම සඳහා ඇඟලුම් සහ ඛනිජ තෙල් නිෂ්පාදිත ප්‍රධාන වශයෙන් හේතු විය.  කෙසේ වෙතත්, මුද්‍රණ කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදිත සහ ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදිත යන කාණ්ඩවලින් ලැබුණු ඉපැයීම් වල පහල යෑමක් වාර්තා විය. ඇඟලුම් අපනයන සම්බන්ධ සියලුම ප්‍රධාන වෙළඳපොළ ( එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානීය ) වෙත සිඳු කළ අපනයන වර්ධනය විය. නැව් සහ ගුවන්යානා සඳහා යොදාගනු ලබන ඉන්ධනවල අපනයන මිල ගණන් සහ පරිමාවන් යන දෙඅංශයෙහිම ඉහළ යෑම හේතුවෙන් ඛනිජ  තෙල් නිෂ්පාදිත අපනයනබ ආදායම වර්ධනය විය.

කෘෂිකාර්මික අපනයනය: 2022 වසරේ අප්‍රේල් මාසයේ දී කෘෂිකාර්මික භාණ්ඩ අපනයනයෙන් ලද සමස්ත ආදායම, 2021 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 7්‍.3කින් ඉහළ ගියේය. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් පොල් (ප්‍රධාන වශයෙන්, දිසිිදි පොල්, පොල් කෙඳි, පොල් තෙල්), සහ සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත ‍(ප්‍රධාන වශයෙන්, පුවක්, තල ඇට සහ ශාක සහ ශාක කොටස්) සහ මුහුදු ආහාර හේතු විය. 2022 වසරේ අප්‍රේල් මාසයේ තේ අපනයන ආදායම සියයට 1.5කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) සුළු වශයෙන් වැඩි වූ අතර, අපනයන මිල ගණන් අඩු වීම මධ්‍යෙය් වුවද අපනයනය කරන ලද තේ පරිමාව ඉහළ යෑම මෙම වර්ධනය සඳහා හේතු විය. මේ අතර, සකස් නොකළ දුම්කොළ, කුළුබඩු (ප්‍රධාන වශයෙන්, ගම්මිරිස් සහ කරාබුනැටි) සහ එළවළු අපනයනයෙන් ලද ආදායම 2022 වසරේ අප්‍රේල් මාසයේ දී පහළ යෑම් වාර්කා කළේය. 

ඛනිජ අපනයනය: ප්‍රධාන වශයෙන්, ලෝපස්, ලෝබොර සහ අළු කාණ්ඩය යටතේ වර්ග කරන ලද ටයිටේනියම් ලෝපස් අපනයන ආදායම පහළ යෑම හේතුවෙන් 2021 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ඛනිජ අපනයන ආදායම ආසන්න වශයෙන් අඩක් දක්වා අඩු විය.

අපනයන දර්ශකය: අපනයන ආදායම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් අපනයන මිල ගණන් ඉහළ යෑම හේතු වූ බව නිරූපණය කරමින්, 2022 වසරේ අප්‍රේල් මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත‍ , අපනයන පරිමා දර්ශකය, පිළිවෙළින් සියයට 5.9 කින් සහ සියයට 11.2කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) ඉහළ ගියේය.