December, 7, 2016
වෝටර්ස් ඒජ් ආයතනය මේ වසරේ තමන්ගේ ලාභාංශ 50% කින් වැඩිකර ගනිමින් රාජ්‍ය අංශයේ ආයතනයක් අත්පත් කරගත් විශිෂ්ඨතම තත්ත්වය ඇතිකරගෙන තිබෙන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (06) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් ආයතනයේ පැවති, නාගරික සංවර්ධන අධිකාරිය, වෝටර්ස් ඒජ් ආයතනය සහ ක‍්‍රීඩා අමාත්‍යාංශය එක්ව ආරම්භ කිරීමට යෝජිත ක‍්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ත්‍රෛයි පාර්ශ්වික අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ගිවිසුම අත්සන් කිරීම සිදු කෙරුණි.
තම අමාත්‍යාංශය යටතේ පවතින කිසිදු ආයතනයක් රජයේ භාණ්ඩාගාරයෙන් හෝ ජනතාවගේ බදු මුදල්වලින් යැපෙන්නේ නැති බවත් ඒ සියලු ආයතන ලාභ උපයන ආයතන බවට පත්කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
තම අමාත්‍ය ධුරය යටතේ පාලනය කළ සෑම ආයතනයක්ම ඉතා කෙටි කලක් තුළ භාණ්ඩාගාරයට බරක් නොවන තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බවත්, ඉදිරියේදීත් එය තවදුරටත් වර්ධනය කරන බවද සඳහන් කරන අමාත්‍යවරයා, රජයෙන් හා මුදල් අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වනුයේ මෙම කටයුතු ධෛර්ය සම්පන්න කරන ලෙස සහ මෙම කටයුතුවලට බාධා නොකිරීම බවද සඳහන් කරයි.
නාගරික සංවර්ධන අධිකාරියත්, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හා වෝටර්ස් ඒජ් ආයතනයත් එක් වී මෙම ප‍්‍රදේශයේ විශේෂයෙන්ම දරුවන් ඉලක්ක කරගනිමින් විනෝදාස්වාද නගරයක් නිර්මාණය කිරීම සඳහා ලබන වසරේ පියවර තැබීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා පවසයි.
Video Story