Uber Eats සිය සේවා ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරමින් නුවරඑළියට පිවිසෙයි

    April, 7, 2026

    Uber Eats සිය සේවා ජාලය නුවරඑළිය දක්වා ව්‍යාප්ත කිරීමත් සමඟ, ප්‍රදේශවාසීන්ට මෙන්ම සංචාරකයන්ට ද තමන් කැමති ආහාර වර්ග නිවසටම හෝ සිය නවාතැනටම ගෙන්වා ගැනීමේ පහසුව  උදා වී ඇත. ඒ අනුව, සීතල සන්ධ්‍යාවක රසවත් කොත්තුවක්, බත් සහ වෑංජන වේලක් හෝ බිත්තර ආප්ප වැනි දේශීය ආහාරවල රස විඳීමට අවස්ථාව සැලසේ.

    සීතල දේශගුණය, ඓතිහාසික සුන්දරත්වය සහ මනරම් තේ වතු යායන්ගෙන් පිරි නුවරඑළිය, අප්‍රේල් උදාවත් සමඟ දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් ඇදී එන මෙරට සුන්දරම පාරාදීසයකි. රාත්‍රී කාලයේ සීතල දේශගුණය හේතුවෙන් වෙළෙඳසැල් වසා දැමීම නිසා පාරිභෝගිකයන් මුහුණ දුන් ආහාර සපයා ගැනීමේ සීමාවන් මගහරවා ගැනීමට, Uber Eats සේවාව නුවරඑළියට පිවිසීම මනා පිටුවහලක් වනු ඇත. මේ හරහා පාරිභෝගිකයින්ට නිවසින් බැහැරට නොගොස් දේශීය අවන්හල් රැසකින් ආහාර ඇණවුම් කළ හැකි අතර, රාත්‍රී කාලයේදී පවා පහසුවෙන් ආහාර ලබා ගැනීමේ අවස්ථාව උදා වේ.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින සුවිශේෂී දේශගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ආහාරවල උණුසුම සහ ගුණාත්මකභාවය සුරක්ෂිත වන පරිදි විශේෂයෙන් නිර්මාණය කරන ලද උෂ්ණත්ව පාලක බෑග් (Temperature-controlled insulated bags) බෙදාහැරීම් කටයුතු සඳහා භාවිත කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, පාරිභෝගිකයින්ට ශ්‍රී ලාංකේය, ඉන්දියානු, චීන, තායි සහ අරාබි ඇතුළු විවිධ ආහාර සංස්කෘතීන් මෙන්ම KFC, Pizza Hut සහ Domino’s වැනි ජාත්‍යන්තර සන්නාමයන්ගෙන් ද ආහාර ඇණවුම් කළ හැකිය.

    දේශීය අවන්හල් හිමියන්ට සිය ව්‍යාපාර පුළුල් කිරීමටත්, බෙදාහැරීමේ හවුල්කරුවන්ට අමතර ආදායම් මාර්ග උදා කර ගැනීමටත් මෙම ව්‍යාප්තිය මගින් පහසුකම් සැලසේ. උත්සව සමයේ පවතින ඉහළ ඉල්ලුම හමුවේ මෙය නුවරඑළිය ප්‍රජාව වෙත ලබා දෙන සුවිශේෂී ආර්ථික දායකත්වයකි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් Uber ශ්‍රී ලංකා සමාගමේ බෙදාහැරීම් අංශයේ සාමාන්‍යාධිකාරී වරුණ විජේවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළේය.

    "නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම ආකර්ෂණීය සංචාරක කලාපයක් වන අතර, විශේෂයෙන්ම අප්‍රේල් උත්සව සමයේදී එහි ඉහළ ඉල්ලුමක් පවතී. Uber Eats හරහා අපි පාරිභෝගිකයින්ට ඉතා පහසුවෙන් ආහාර ලබාගැනීමේ පහසුකම සලසන අතරම, දේශීය අවන්හල් හිමියන්ට සහ බෙදාහැරීමේ හවුල්කරුවන්ට නව ආර්ථික අවස්ථා උදා කර දෙන්නෙමු. මෙය අපගේ සමස්ත ව්‍යාප්ති සැලසුම් සාර්ථක කර ගැනීම සඳහා තැබූ තවත් ප්‍රබල උපායමාර්ගික පියවරකි."

    පසුගිය වසරේදී හික්කඩුව, අම්බලන්ගොඩ, හලාවත, වෙන්නප්පුව, පුත්තලම, යාපනය, ගම්පොළ, මාතලේ, මාතර, වැලිගම, මිරිස්ස සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්ක 6කට අධික ප්‍රදේශයන්හි සාර්ථකව ව්‍යාප්ත වූ Uber Eats, නුවරඑළියට පිවිසීමත් සමඟ මෙරට ප්‍රමුඛතම ආහාර බෙදාහැරීමේ ජාලය ලෙස සිය වෙළඳපල ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ඇත.