ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තිවල මිශ්‍රණයක් අවශ්‍යයි – IMF ශ්‍රී ලංකා නියෝජිතවරිය කියයි

    September, 13, 2018

    ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය පහසුකම සාර්ව ආර්ථික ස්ථායීතාව නැවත ලබා දීමට හේතු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය Eteri Kvintradze පැවසුවාය. අද (13) ආරම්භ වූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2018 දී ඇය මේ බව කියා සිටියාය.

    “අලුතෙන් හඳුන්වා දෙනු ලැබූ පුළුල් බදු ක්‍රමය හා ෆිස්කල් ප්‍රතිත්පත්ති සමස්ත ණය තත්ත්වය කළමනාකරණයට හේතු වෙනවා. උද්ධමන ඉලක්ක රාමුවක කටයුතු කිරීම, ශක්තිමත් සංචිත හා නම්‍යශීලී විනිමය අනුපාතික මෙන්ම ප්‍රතිසංස්කරණවල විනිවිදභාවය හා වගවීම රටේ විදේශ අංශය ශක්තිමත් කරනු ඇත. මධ්‍යම රජයේ ආදායම පදනම් කර ගත් ෆිස්කල් ප්‍රතිසංස්තරණ ණය බර අඩු කිරීමට හේතු වෙනවා.“

    මෙහිදී ඇය අවධාරණය කර සිටියේ ශක්තිමත් ප්‍රතිපත්තිවල මිශ්‍රණයක් මේ සඳහා අවශ්‍ය බවයි. ඒ අනුව දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% ක මට්ටමමක පවතින අයවැය පරතරය 2020 වන විට 3.5% දක්වා අඩුකර ගත හැකි වනු ඇති බව ඇය මෙහිදී සඳහන් කළාය.

    “බොහෝ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට සූදානමින් තිබෙනවා. බදු ක්‍රමය ස්ථාවර හා පුළුල් කරමින් අනාගත ආදායම් ජනන ධාරිතාව ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගෙන තිබෙනවා“ යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.