ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය A320neo ගුවන් යානා සඳහා ප්‍රථම “C” පරීක්ෂාව සාර්ථකව නිම කරයි

    February, 13, 2019

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය නඩත්තු සේවා , අලුත්වැඩියා සහ පිරිපහදු සේවා (Maintenance, Repair and Overhaul –MRO) සැපයීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ගුවන් සමාගම සතු නවතම එයාර්බස් A320 නියෝ ගුවන් යානාවන් හි  පළමු “C” පරීක්ෂාව ඉතා  සාර්ථකව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අංගනයේ දී සම්පූර්ණ කරන ලදී.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා ප්‍රකාශ  කළේ මෙම කැපී පෙනෙන ජයග්‍රණය වෙනුවෙන් ඉතා කැපවීමෙන් හා දක්ෂතා දක්වමින්  වෙහෙස නොබලා ශ්‍රීලංකන් ඉංජිනේරු කණ්ඩායම කටයුතු කර ඇති බවයි. එසේම මෙමගින් දකුණු ආසියානු කලාපයේ MRO අංශයේ අපගේ ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් වන බවද හෙතෙම පෙන්වා දුන්හ. අනාගතයේ දී  අනෙකුත් පාරිභෝගික ගුවන් සමාගම් සඳහා ද සිය MRO සහ ඉංජිනේරු සේවාවන් සැපයීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරි ඩී.ඒ.ජී ජයසූරිය මහතා සඳහන් කළේ ගුවන් සමාගමේ පළපුරුදු ගුවන් යානා ඉංජිනේරු කණ්ඩායමේ විශිෂ්ට කාර්ය සාධනය සහ හැකියාවන්  නැවත වරක් විදහා දක්වා ඇති බවයි. එසේම සැලසුම්ගත දින 4 ක කාලසීමාව ඇතුළත එනම් පෙබරවාරි 5 දින අවසන් වීමට පෙර ගුවන් යානය නැවත සේවයේ යෙදවීමට හැකි වූ බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  MRO අංශය යුරෝපීය ගුවන් සේවා නිරුපද්‍රිතා එජන්සිය (European Aviation Safety Agency) විසින් ලබාදෙන EASA 145 තත්ත්ව සහතිකය ලබා   ගනිමින් එයාර් බස් සමාගමේ A330  සහ A320 ගුවන් යානා සඳහා  විශිෂ්ඨතම  සේවාවක් සැපයීමට අනුමැතිය හිමිකර ගෙන තිබේ. එසේම ගුවන් සමාගමේ නඩත්තු හා ඉංජිනේරු වැඩපළ සහ EASA සහතිකලත් පුහුණු කිරීම් සිදු  කිරීම සඳහා ද EASA සහතිකය හිමිකරගෙන තිබේ.

    මෑත කාලයේ දී නවීකරණය කරන ලද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන යාත්‍රාංගනය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ හි පිහිටා ඇති අතර එහි ගුවන් යානා කිහිපයකටම එකවර සේවා පහසුකම් සැලසීමේ හැකියාව පවතී. ඒ අනුව ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ විධිමත් නඩත්තු සේවා කටයුතු සිදුකිරීමට  ගුවන් යානා යාත්‍රාංගනයේ ආවරණය කරන ලද පහසුකම් වලින් සමන්විත වේ.  ශ්‍රීලංකන් ගුවන් සමාගම නවතම  A 320  ගුවන් යානා යාත්‍රාංගනයේ ද සැලකිය යුතු වෙනස් කම් සිදුකරන ලදී.

    එයාර්බස් A320 නියෝ ගුවන් යානාවන් හි  “C”  පරීක්ෂාව සෑම ගුවන් පැය 4,000 කින් පසුව සිදුකළ යුතු නඩත්තු වැඩසටහනක්  වන අතර ශ්‍රී ලංකන් ගුවන් යානා ඇණියට එක්වූ ප්‍රථම 4R-ANA  එයාර්බස් 320 ගුවන්යානය මත “C”  පරීක්ෂාව සම්පූර්ණ කරන ලදී. 'neo' යනු New Engine Option ලෙස හඳුන්වන අතර එය එයාර් බස් කර්මාන්තය තුළ පෙර පැවති ගුවන් යානා වලට සාපේක්ෂව අහසෙහි අතිශයින්ම සංකීර්ණ වූ ක්‍රියාවන් සඳහා පහසුකම් සළසන වැඩි දියුණු කළ විශේෂාංග ගණනාවක් ඇතුළත් ගුවන් යානයකි. ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට A320neo වර්ගයේ ගුවන් යානා දෙකක් සහ A321neo ගුවන් යානා හතරක් ඇතුළත් වන අතර ඒවා අතර මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා  මෙන්ම  දිගු  දුර ගුවන් ගමන් සඳහා  යොදා ගන්නා A330 ගුවන් යානා ද ඇතුළත්වේ.

    මෙම නවතම  neo  ගුවන් යානා ඉතා අඩු ඉන්ධන පරිභෝජනයක්  සිදු කරන අතර  නවීන එන්ජින්  මගින් අඩු මෙහෙයුම් පිරිවැයක් සිදුකරමින්, කාර්යක්ෂමතාව වැඩිදියුණු කරන ලද පියාපත් විවරවලින්  සමන්විතය (sharklets ).  තවද මෙම වැඩි දියුණු කරන ලද ගුවන් යානා සුව පහසු අභ්‍යන්තර මැදිරි ආසන, විශාල අත් බෑග් රැඳවිය හැකි කුටි සහ වැඩිදියුණු කරන ලද වාතය පිරිපහදු පද්ධතියකින් සමන්විත වන අතර එමගින් ගුවන් මගීන් සඳහා සුවපහසු  ගුවන් ගමනක අත්දැකීම් ලබාදෙයි.

    ශ්‍රීලංකන්  ගුවන් සමාගම  වත්මන්හි  රටවල්  48 ගමනාන්ත  111 ක්  වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි.  වන්වර්ල්ඩ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමන්නාත 1000 දක්වා පියාසර කිරීමේ  පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට  හිමිවේ.