ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් පාඨමාලා දැන් උතුර හා නැගෙනහිර පළාත්වලත්

    June, 13, 2023

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ පුහුණු පාසල වන ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් (SriLankan Aviation College), බ්‍රිටිෂ් කොලේජ් ඔෆ් ඇප්ලයිඩ් ස්ටඩීස් (British College of Applied Studies - BCAS) සමග එක් වී සිය පාඨමාලා උතුරු හා නැගෙනහිර පළාත්වලටද හඳුන්වා දීමටද පියවර ගෙන තිබේ. මෙය එම පළාත්වල සිසු සිසුවියන්ට ගුවන් සේවා කර්මාන්තය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත් සුදුසකම් හිමිකර ගැනීමට ලැබෙන අගනා අවස්ථාවකි. මේ සඳහා නියෝජිතයන් ලෙස කටයුතු කිරීමට මෙරට අධ්‍යාපන ආයතන රැසක් ඉදිරිපත් වූ අතර, ඒ අතරින් විධිමත් ක්‍රියාපටිපාටියකින් අනතුරුව BCAS ආයතනය තෝරාගන්නා ලදි. මින් ඉදිරියට යාපනය සහ කල්මුණේ යන ප්‍රදේශවල පිහිටි BCAS අධ්‍යාපන ආයතනවලදී, ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් හි දේශකවරුන් සහ පුහුණුකරුවන් විසින් මෙම පාඨමාලාවන්ට අදාළ දේශන හා පුහුණු කටයුතු සිදුකරනු ඇත.  

    මෙම නව පියවර සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් හි සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වී ය. “BCAS සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. දෙපාර්ශ්වයේ වෘත්තීය ගුණාංග සහ කැපවීම නිසා මෙය අතිශය සාර්ථක හවුල්කාරීත්වයක් බවට පත්වේවි. උතුරු සහ නැගෙනහිර පළාත්වල ගුවන් සේවා කර්මාන්තය සහ ආයතනික අධ්‍යයන යන ක්ෂේත්‍රවල පුහුණු අවස්ථා සම්බන්ධයෙන් අඩුපාඩු රැසක් පවතින බව අප දුටුවා.  අපගේ ඉලක්කය වන්නේ දිවයින පුරාම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගුවන් සේවා කර්මාන්තය සම්බන්ධ පාඨමාලා හැදෑරීමට සමාන අවස්ථාවන් ලබාදීමයි. මෙම ඉලක්කය ළඟා කරගැනීමට BCAS ආයතනය අපට විශාල පිටිවහලක් වනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.”

    මෙම හවුල්කාරීත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙන්ම International Air Transport Association (IATA) සහ European Union Aviation Safety Agency (EASA) වැනි ආයතන මගින් පිරිනමනු ලබන, ජාත්‍යන්තරව පිළිගත් සහතිකකරණයන් හිමිකර ගැනීමට මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව ලැබේ. පාසල් අධ්‍යාපනය අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම දැනට රැකියාවක නියුතු පුද්ගලයන්ට වුවද ළඟම පිහිටි BCAS ශාඛාවේදී මෙම පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත. මේ ආකාරයට තමන් පදිංචි හෝ රැකියාවෙහි නියුතු ප්‍රදේශවලදීම අධ්‍යාපනය ලැබීමට හැකි වීම ඔවුන්ට ඉමහත් පහසුවක් වනු නො-අනුමාන ය.

    “මේ ආකාරයට ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් සමග එක් වී යාපනය සහ කල්මුණේ යන ප්‍රදේශවල පිහිටා ඇති අපගේ අධ්‍යාපන ආයතනවල සත්කාරක සේවා සහ ගුවන් සේවා පාඨමාලා ආරම්භ කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම වැඩි වී තිබෙන පසුබිමක් තුළ, එම ක්ෂේත්‍රයේ සේවා මට්ටම් ඉහළ නැංවීම සඳහා රට පුරාම සිසුන්ට මෙවැනි පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දීම ඉතාමත් වැදගත්. උතුරු හා නැගෙනහිර පළාත්වලින් ඇරඹෙන මෙම හවුල්කාරීත්වය ඉදිරියේදී රට පුරාම ව්‍යාප්ත වනු ඇතැයි කියා අප බලාපොරොත්තු වනවා.” BCAS Campus හි විධායක නොවන සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා පැවසී ය.

    ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගුවන් සේවා ක්ෂේත්‍රයට අදාළ පුහුණු පාඨමාලාවන් පිරිනැමීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් ආයතනයට වසර 34 කට වැඩි පළපුරුද්දක් ඇත. එම ආයතනය මේ වනවිට ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ මාලදිවයින යන රටවල සිවිල් ගුවන් සේවා අධිකාරී ආයතනවල පිළිගැනීම මෙන්ම EASA, IATA සහ International Organization for Standardization (ISO) වැනි සුදුසුකම්ද හිමිකරගෙන තිබේ. එමෙන්ම එම ආයතනය Royal Aeronautical Society (RAES) සහ European Aviation Maintenance Training Committee (EAMTC) යන සංවිධානවල සාමාජිකත්වයද දරයි. තවද ලොව ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන කිහිපයක් සමග අත්වැල් බැඳගෙන, ගුවන් සේවා හා ආයතනික පුහුණු පාඨමාලා රැසක් මෙරටට හඳුන්වා දීමටද ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් පියවර ගෙන තිබේ.

    වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.srilankanaviationcollege.com