ශ්‍රීලංකන් කේටරින් අයිතියෙන් 49%ක් විකිණීමට ආයෝජකයෙකු සොයයි

    August, 29, 2022

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ණය බර යම් ප්‍රමාණයකට හෝ අඩුකිරීමේ අරමුණ ඇති එහි ලාභ ලබන ව්‍යාපාර අංශයක් වන ශ්‍රීලංකන් කේටරින් සමාගමේ 49%ක් ආයෝජකයෙකුට ලබා දී යම් මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව අනාවරණය කළේය.

    මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.

    දැනට ලාභ ලබනවා යම් ප්‍රමාණයකට ශ්‍රීලංකන් කේටරින් සමාගම. ඉතිං අපි ශ්‍රීලංකන් කේටරින් සමාගමෙන් 49% ක් සහ 51% ක් අපිට තියාගෙන එහි පරිපාලනය හෝ එහෙම නැත්නම් ආයොජකයෙක් තවත් වැඩිප්‍රර ප්‍රමාණයක් ඉල්ලනවා නම් ඒ ආයෝජකයින්ගේ ඒ අවස්ථාවේ දී තියෙන ඉල්ලීම අනුව ඊට වඩා වැඩි ප්‍රමාණයක් හෝ කොටස් ලබාදීලා එයින් යම් මුදල් ප්‍රමාණයක් ලබාගන්නවා. ඒ මුදල් ප්‍රමාණය ලබා දුන්නාම අපිට ඒ සමාගමේ කොටස් උකස් කරලා අරන් තියෙන ඩොලර් මිලියන 80ත්, තව මුදල් ප්‍රමාණයකුත් තවත් ණයකුත් අපිට ඒකෙන් ගෙවන්න පුළුවන් වෙනවා.

    එතකොට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ණය බර එක් ප්‍රමාණයකට අඩු වෙනවා.

    ඊළඟට දැනට අපේ Ground Handlingවල දී වෙනම සමාගමක් අපි හදනවා. ඒ සමාගමට ඊට අදාල කාර්යභාරය හා ගොඩනැගිලි, චංචල හා නිශ්චල දේපළ දීලා, එතනින් අපිට සාමාන්‍යයෙන් අවුරුද්දකට මිලියන 5,000ක් පමණ ආදායමක් ලැබෙනවා. ඒ නිසා අය අපිට ප්‍රතිව්‍යූහගත කිරීමේ දී අපිට යම් සෑහෙන මුදලක් අපිට, එහිත් 49%ක කොටස්වලට අපිට ලබාගන්න පුළුවන් වෙයි. 49%ක විතරක් කොටස් දුන්නාට කවුරුත් එන්නේ නැහැ. පරිපාලනය කළමනාකරණය දෙන්න ඕනේ. ඉතිං ඒ සඳහාත් අපි අභිලාෂ කැඳවීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

    මේ දෙකෙන්ම මේ ලැබෙන මුදල්වලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒවා අපේ වෙන වැඩවලට යොදවන්න නොවෙයි. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ තියෙන ණය මුදල් ගෙවලා ණය බරින් ශ්‍රීලංකන් ගුවන් සමාගම් මුදවන්න, පුළුවන් ප්‍රමාණයකට.