ශ්‍රීලංකන් කේටරින් රුපියල් බිලියන 3.9 ශුද්ධ ලාභයක් වාර්තා කරයි

    September, 10, 2018

    ශ්‍රීලංකන් කේටරින් සමාගම 2018 මාර්තු මස 31 වැනිදා අවසන් වූ මූල්‍ය වසර තුළ ස්ථාවර මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින් 26% වාර්ෂික මෙහෙයුම් ලාභ වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්වී ඇත. ඒ අනුව කේටරින් සමාගමෙහි මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 3.03 සිට රුපියල් බිලියන 3.81 දක්වා මෙම මූල්‍ය වසර තුළ වර්ධනය වී තිබේ.

    විගණනය නොකළ මූල්‍ය ප්‍රකාශ වලට අනුව කේටරින් සමාගම පෙර මූල්‍ය වසරේ මෙහෙයුම් ලාභ අනුපාතය වන 42% ට වඩා 2017/18 මූල්‍ය වසර තුළ 44% මෙහෙයුම් ලාභ අනුපාතයක් වාර්තා කර තිබේ. මෙම මූල්‍ය වසර තුළ බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රුපියල් බිලියන 3.9 ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 4% ක වර්ධනයක් පෙන්නුම් කරයි. රුපියල අවප්‍රමාණය වීම මත ලාභය අඩුවීම හේතුවෙන් ශුද්ධ ලාභ වර්ධනයේ යම් මට්ටමක අඩුවීමක් දක්නට ඇති අතර පෙර මූල්‍ය වසරේ මෙම අඩුවීම රුපියල් මිලියන 833 ක් ලෙසත් මෙම මූල්‍ය වසරේ එම අඩුවීම රුපියල් මිලියන 202 ක් ලෙසත් සනිටුහන් වී ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සහ ශ්‍රීලංකන් කේටරින් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ “ ශ්‍රීලංකන් කේටරින් සමාගම සමස්ත ජාතියට මෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවා සමූහයට ශක්තිමත් පවුරක් වී ඇති බවයි. පසුගිය වසරේ දී කේටරින් සමාගම විශිෂ්ට කාර්ය සාධනයක් වර්තා කර ඇති බවද ඒ මහතා කියා සි‍ටියේය. ඒ මහතා වැඩිදුරටත් කියා සි‍ටියේ “ පසුගිය වසර 5 තුළදී සෑම වසරකම ලාභය බිලියන 2ක් ලෙස වාර්තා වූ අතර එමගින් ගුවන් සමාගම සිය මෙහෙයුම් හි ස්ථාවරත්වය මැනැවින් මෙයින් ඔප්පුවී ඇති බවයි. එසේම 2017/18 මූල්‍ය වසර තුළ කේටරින් සමාගමේ මෙහෙයුම් ලාභය පෙර වසරට සාපේක්ෂව 26 % වර්ධනයක් ලබාගෙන ඇති අතර එය ජාතික ගුවන් සේවයේ අනුබද්ධ ආයතනයක් විසින් ලබාගත් සුවිශාල ජයග්‍රහණයක් බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

    ශ්‍රීලංකන් කේටරින් හි ප්‍රධාන විධායක නිලධාරී ලලිත් විතාන මහතා ප්‍රකාශ කර සිටියේ “ පසුගිය වසර තුළ මුහුණු දීමට සිදුවූ විවිධ අභියෝගයන් ජයගැනීම සඳහා සාකච්ඡා මාර්ගයෙන් සහ මූල්‍ය විනය පිළීබද කැපවීමෙන් අප කාර්ය මණ්ඩලය කටයුතු කිරීම මෙම විශිෂ්ට කාර්ය සාධනය තුළින් පිළිබිඹු කරන බවයි.

    ශ්‍රීලංකන් කේටරින් අංශය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුර්ණ අනුබද්ධ සමාගමක් වන අතර එය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ක්‍රියාත්මක වන සියලු ගුවන් සේවා සඳහා 24,000 පමණ ගුවන් යානා අභ්‍යන්තර ආහාර පාන සපයන එකම ගුවන්යානා සැපයුම්කරු වේ. ‍ශ්‍රීලංකන් කේටරින් සමාගම ආහාර පාන සේවා සපයන ගුවන් සේවා ලෙස ගෝලීය වශයෙන් පිළිගත් එමිරේට්ස් ගුවන් සේවය, මැලේෂියා එයාර්ලයින්ස්, එයාර් චයිනා , කැතේ පැසිෆික්, චයිනා ඊස්ටන් ගුවන් සේවය (China Eastern Airlines) , China Southern Airlines, කොරියන් එයාර් , Turkish Airlines සහ ශ්‍රීලංකන් ගුවන් සමාග‍ම සඳහන් කළ හැක.

    ශ්‍රීලංකන් කේටරින් සමාගම සතුව ආහාර සහ බීම නිෂ්පාදනය සඳහා උසස් තත්ත්වයේ මුළුතැන්ගෙයක් ඇතුළුව සුඛෝපභෝගී හා පෞද්ගලික ගුවන්යානා වලට පවා ආහාරපාන සැපයීමේ පහසුකම් ඇත. ආහාර සැපයීම, ක්ෂේත්‍රීය රෙදි සේදීම් සහ ආපනශාලා කළමණාකරණය , සනීපාරක්ෂක පහසුකම්, අවන්හල් සේවාවන් ඇතුළු සේවාවන් මාලාවක් ඇතුළුව ශ්‍රීලංකන් කේටරින් සමාගම විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ගුවන් හුවමාරු හෝටල් සහ ආපන ශාලා සඳහා විවිධාංගීකරණය වූ සේවා සපයනු ලැබේ.

    ශ්‍රීලංකන් කේටරින් ගෝලීය වශයෙන් සහතික කිහිපයක්ම ලබාගෙන තිබේ. තත්ත්ව කළමනාකරණ පද්ධතිය සඳහා ISO 9001:2008, ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා ISO 22000:2005, ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා HACCP-Codex Alimentarius , සහ හොඳම පාරසරික පිළිවෙත් වෙනුවෙන් ISO 14001:2004 ලබාගෙන තිබේ. ඊට අමතරව ශ්‍රීලංකන් කේටරින් අංශය අන්තර්ජාතික සංචාරක ආහාර සැපයුම් සංගමය (ITCA), ජනාධිපති අපනයන සම්මාන සහ ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල මගින් පිරිනමනු ලබන සම්මාන ගණනාවකින් පිදුම් ලබා තිබේ.

    පින්තූරය: ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සහ ශ්‍රීලංකන් කේටරින් හි සභාපති රන්ජිත් ප්‍රනාන්දු මහතා