ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් කරුණු පැහැදිලි කිරීමක්

    March, 17, 2020

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ පළමු පියාසර නිලධාරියෙකු හට කොරෝනා වෛයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වන ප්‍රවෘත්තිවලට අමතරව, පහත සඳහන් කරුණු පැහැදිලි කිරීමට ගුවන් සමාගම බලාපොරොත්තු වේ.

    අදාළ පළමු පියාසර නිලධාරියා සිය අවසන් දිගු මෙහෙයුම් පියාසැරිය සිංගප්පූරුව වෙත ගොස් ඇත්තේ 2020 පෙබරවාරි මස 28, වන දින වන අතර ඉන්පසුව ඔහු ක්‍රියාත්මක කළ සියලුම ගුවන් ගමන් ආපසු හරවා නැවත පැමිණීමේ ගුවන් ගමන් වේ.

    අද (16) සවස ඔහුගේ වෛද්‍ය තත්ත්වය දැනගැනීමෙන් අනතුරුව පසුගිය දින 14 ක කාල සීමාව තුළ ඔහු සමඟ ගුවන් ගමන් සඳහා එක්වූ සියලුම ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින්, ඔවුන්ගේ කාලසටහන්වලින් ඉවත් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වයං නිරෝධායනය කිරීමට උපදෙස් දී ඇත.

    එයාර්ලයින්ස් සමූහයේ ආයතනික වෛද්‍ය නිලධාරීතුමිය රජයේ සෞඛ්‍ය බලධාරීන් සමඟ තත්ත්වය හොඳින් පරීක්ෂා කරමින් සිටියි.

    ඔහු සති අන්තයේ (2020 මාර්තු 14,15) සිමියුලේටර් පුහුණු මධ්‍යස්ථානයේ සිට ඇති අතර ඒ පිළිබඳව එහි සිටි උපදේශකවරුන්ට සහ සෙසු කාර්ය මණ්ඩලයට අවශ්‍ය උපදෙස් දී ඇත. නිසි විෂබීජ නාශක ක්‍රියාවලියක් සිදු කරන තෙක් එම ගුවන් යානා පුහුණු මධ්‍යස්ථානයේ ඇති සිමියුලේටර් අංගනයේ සියලුම පුහුණු කටයුතු නවතා දැමීමට කටයුතු යොදා ඇත.

    සිය වටිනා මගීන්ට සුවපහසුව, රැකවරණය සහ ආරක්ෂාව සැපයීමේ ප්‍රමුඛතාවය සපුරාලීම සඳහා සහ සිය ශ්‍රම බලකායේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වන සියළුම පූර්වාරක්ෂක පියවර ගැනීමට ගුවන් සමාගම කටයුතු කරයි.