ශ්‍රීලංකන් ගුවන් සමාගම ආසියාවේ සහ ආසියා ශාන්තිකර කලාපයේ කාබන් විමෝචනය අවම ගුවන් සේවා අතරින් දෙවැනි තැනට

    January, 22, 2016

    ශ්‍රීලංකන් ගුවන් සමාගම ආසියාවේ සහ ආසියා ශාන්තිකර කලාපයේ ගුවන් සේවා අතරින් කාබන් විමෝචනය අවම ගුවන් සේවාවක් ලෙස Business Traveller සඟරාව මගින් දෙවැනි ස්ථානයට පත්කර ඇත. මෙමගින් ගුවන් සමාගම විසින් අඛණ්ඩව දියත් කරන ලද පරිසර සංරක්ෂණ ව්‍යාපෘති ගෝලීය වශයෙන් ඇගයීමකට ලක්වී ඇත.

    මෙම ඇගයීමට ශ්‍රීලංකන් ගුවන් සේවාව පාත්‍ර වී ඇත්තේ මැද පෙරදිග,දකුණු ආසියාව, ඈත පෙරදිග සහ ආසියා ශාන්තිකර කලාපයේ (ඕස්ට්‍රේලියාව ආශ්‍රීත රටවල්)) රටවල් හි ගුවන් සේවා රැසක් අතුරින් ය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා ප්‍රකාශ කර සිටියේ “ ශ්‍රීලංකන් ගුවන් සමාගම රටේ අනෙකුත් රාජ්‍ය සහ පුද්ගලික අංශයන් අතරින් තම පාරිභෝගිකයන්ට ප්‍රජාවට මෙන්ම සේවකයන් සඳහා තිරසාර ආයතනික ව්‍යාපෘති දියත් කරන රටේ පුරෝගාමි සාඩම්බර ගුවන් සේවාවක් වීම සැබැවින්ම අපිට මහත් අභිමානයක් වන බවයි.

    Business Traveller සඟරාව (www.businesstraveller.com) මගින් ගුවන් සමාගම ඇගයීමේ දී දෙවැනි ස්ථානයට පත්වී ඇත්තේ 72.8 අගයක් ලබාගනිමින් වන අතර ප්‍රථම ස්ථානයට පත් තායිවාන් ගුවන් සේවය වන ට්‍රාන්ස්ඒෂියා ගුවන් සේවය 73.4 ආසන්න අගයක් ලබාගෙන තිබුනි. ගෝලීය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය 17 වැනි ස්ථානයට පත්වී ඇත.

    ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “ ශ්‍රීලංකන් ගුවන් සමාගම පරිසර සංරක්ෂණය සඳහා පුළුල් ක්‍රියාදාම පද්ධතියක් දියත් කරමින් කටයුතු කරන ලෝකයේ ප්‍රථම ගුවන් සේවා අතරින් එකක් බවයි. අඛණ්ඩව නව මාර්ග හඳුන්වාදෙමින් අප ප්‍රයන්තයන් ඉදිරියට ගෙන යාමට ගුවන් සමාගම කටයුතු කරන බව ද ඒ මහතා කියා සිටියේය.

    2009 වසරේ දි ශ්‍රීලංකන් ගුවන් සමාගම ආසියාවේ සහ ලෝකයේ “ලෝක හිතකර ගුවන් ගමන්“ යන සංකල්පය ප්‍රථමයෙන් දියත් කර ගුවන් සේවය බවට පත්විය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානී සහ ආයතනයේ හරිත කණ්ඩායම් කැඳවුම්කරු ප්‍රදීප කැකුලාවල මහතා ප්‍රකාශ කර සිටියේ “ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පරිසර සංරක්ෂණ වැඩසටහන ආයතනික දෙපාර්තමේන්තු හරහා සිදුකරන පාරිසරික ක්‍රියාකාරි කණ්ඩායමක් විසින් සිදුකරන අතර ආයතනයේ පාරිසරික උපාය මාර්ගික සහ සංරක්ෂණ ඒකකය විසින් මෙම කටයුතු සමායෝජනය කරයි. මෙම සාමුහික ප්‍රයන්තයන් අවසානයේ ගුවන් මෙහෙයුම් හි කාබන් විමෝචනය අවම කරගැනීම සඳහා දායක වන අතර මෙමගින් “ලෝක හිතකර ශ්‍රීලංකන්“ යන අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා දායක වනු ඇත“ යනුවෙනි.

    මේ සඳහා කාර්යක්ෂම ඉන්ධන කළමනාකරණ ක්‍රියාමාර්ග තුළින් සෑම ගුවන් යානාවකම උපරිම ඉන්ධන කාර්යක්ෂමතාව ලබාගැනීමට කටයුතු කෙරේ. මේ අතර ගමනාන්ත වෙත කෙටිම මාර්ගය යොදා ගැනීම, ඒකීය ගුවන් එන්ජිමක් සහිත ගුවන් යානා ,ආහාර ගෙන යාමේ ගැල් සඳහා බර අඩු ඒවා යොදාගැනීම, සහ අනෙකුත් ගෙන යන ගුවන් භාණ්ඩ සැහැල්ලු ඒවා වීම මීට ඇතුළත් ය. එසේම ගුවනේ රැගෙන යන සඟරා සහ පත්තර බර නිසි පරිදි කළමනාකරණය කිරීම යන්න මිට ඇතුළත් වේ.

    ගුවන් යානාවන් හි ගුවන් එන්ජින් උපරිම කාර්යක්ෂමතාවයෙන් තබාගැනීමටත් ගුවන් යානා සීරීම් වලින් වැළැක්වීමට නිතරම සෝදා තබාගැනීමටත් කටයුතු කරනු ඇත. මේ සඳහා උසස් තත්වයේ දැනුමක් ගුවන් සේවක කාර්ය මණ්ඩලය තුළ පවත්වා ගැනීමටත් විශේෂයෙන් ගුවන් නියමුවන්,ගුවන් මැදිරි කාර්ය මණ්ඩලය,ගුවන් යානා පිටත්වීම් කටයුතු කරන නිලධාරීන් සහ ගුවන් මෙහෙයුම් සදහා සම්බන්ධ වී සිටින අනෙකුත් සේවකයන් දැනුවත් කිරීමත් සිදුකරනු ලැබේ.

    2009 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවනේ දී ඉවත දමන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා කටයුතු කළ ප්‍රථම ගුවන් සේවය බවට පත්විය. ගුවන් සමාගම විසින් දිරාපත් වන ද්‍රව්‍ය පමණක් උපරිමයෙන් ගුවන් ද්‍රව්‍ය සඳහා යොදා ගැනීමත් එහි කටුනායක ප්‍රධාන මූලස්ථානයේ ජීව වායු නිෂ්පාදනය තුළින් ශක්තිය නිපදවීමටත් කටයුතු කර ඇත. අනෙකුත් ක්‍රියාමාර්ගය වී ඇත්තේ ඉලෙක්ට්‍රොනික ගුවන් ප්‍රවේශපත් නිකුත් කිරීම තුළින් කඩදාසි යොදා ගැනීම අවම කිරීමයි. එය ‘Fly Green’ ව්‍යාපෘතියේ අංගයක් වන අතර ගුවන් මගීන්ට මෙමගින් කුඩා ජල ශක්ති ව්‍යාපෘතියක් සඳහා සහාය දැක්වීමට හැකිවනු ඇත. එමගින් ගුවන් සමාගම කාබන් විමෝචනය අවම කිරීම සදහා කටයුතු කරනු ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාරිසරික අනුකූලතා සහ සැලසුම් කළමනාකාර ධනුෂ්ක ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ “මෙම සාර්ථකත්වය කරා යාමට සහයෝගය ලබාදුන් අප ගුවන් සමාගමේ කොටස්කරුවන් මෙන්ම විශේෂයෙන් හරිත කණ්ඩායමට සහ ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලයට ස්තූතිය පුදකල යුතු බවයි.