ශ්‍රීලංකන් ගුවන් සේවයේ සත්කාරයෙන් කොදෙව්වෝ මෙරටට

    February, 11, 2020

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ඊයේ උදෑසන (10) ශ්‍රීලංකන් ගුවන් සේවයේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳීමින් ශ්‍රී ලංකාවට පැමි‍ණියේය. 25 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ලන්ඩනයේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL506 සහ UL504 දරණ ගුවන් යානාෙවලින් දිවයිනට ලඟාවිය. එහි දී ඔවුන් ජාතික ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ සුඛෝපභෝගී සැපපහසුකම් ඉතා සතුටින් භුක්ති විඳින ලදී.

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෑත වසරවල දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ තුන්වන අවස්ථාව මෙය වන අතර එහිදී ඔවුන් 2015 සහ 2016 දී ද ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟින් පියාසර කර ඇත. කොදෙව් සංචිතයේ සංචාරය සඳහා අවශ්‍ය කටයුතු ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රීලංකන් ගෝලීය සේවා සැපයුම් කාර්යාලය විසින් සිදු කරන ලදී.

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ, හම්බන්තොට සහ මහනුවර දී එක්දින තරග 3 ක් හා ජාත්‍යන්තර තරග විස්සයි විස්ස තරඟ 2 ක් ක්‍රීඩා කිරීමට නියමිතය.