ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් යානා නඩත්තුව සඳහා AMOS NewGen MRO පද්ධතිය භාවිතා කිරීම අරඹයි

    April, 25, 2024

    ශ්‍රීලංකන් ගුවන් සේවය තම ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා Swiss-AS මගින් හඳුන්වා දී ඇති ගුවන් යානා ඉංජිනේරු සහ නඩත්තු, අලුත්වැඩියා සහ පූර්ණ අලුත්වැඩියා (Maintenance, Repair, and Overhaul- MRO) ERP (Enterprise Resource Planning) පද්ධතියක් වන AMOS භාවිතය ආරම්භ කර තිබේ. මෙම පද්ධතිය යොදාගෙන ගුවන් යානා නඩත්තු කටයුතු ස්වයංක්‍රීයව නිරීක්ෂණය කිරීම හා සම්බන්ධීකරණය කිරීම මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයට තම ඉංජිනේරු කටයුතුවල ඵලදායීතාව වැඩි කිරීමටත්, පිරිවැය අවම කිරීමටත්, නඩත්තු කටයුතුවල ප්‍රමිතිය ඉහළම මට්ටමින් පවත්වා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.

    “Swiss-AS හඳුන්වා දී ඇති පෙරළිකාරී AMOS NewGen MRO පද්ධතියට භාවිතයට ගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ දත්ත පැරණි පද්ධතිවල සිට මේ නවතම පද්ධතියට මාරු කිරීමේදී මුහුණ දීමට සිදු වූ සංකීර්ණතාවන් හේතුවෙන් මේ සඳහා මාස කිහිපයක් ගත වුණා. මෙම වෙනසත් සමග අපගේ මෙහෙයුම් කටයුතු බෙහෙවින් කාර්යක්ෂම කිරීමටත්, නඩත්තු හා සුරක්ෂිතතා ප්‍රමිතීන් ඉහළම මට්ටමක පවත්වා ගැනීමටත් අපට හැකියාව ලැබේවි.” ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු ප්‍රධානී අර්ජුන කපුගීකියනගේ මහතා පැවසී ය.

    “AMOS NewGen MRO පද්ධතිය භාවිතයට ගැනීම යනු අපගේ ඩිජිටල් දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීමේ උත්සාහයේ තවත් වැදගත් ඉදිරි පියවරක්. එමෙන්ම අනවශ්‍ය ලෙස කාලය වැයවන ඇතැම් රාජකාරි කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා සහ ඉලෙක්ට්‍රොනික රාජකාරි උපදෙස් හා ඩිජිටල් වැඩ අවසන් කිරීමේ නිවේදන වැනි කඩදාසි භාවිතයෙන් තොර ක්‍රමවේදයන් හඳුන්වා දීම සඳහා අප AMOSmobile/EXEC Mobile add-on ද භාවිතයට ගත්තා. මෙය සාර්ථකව සිදුකිරීම සම්බන්ධයෙන්, Swiss-AS සමග එක් වී මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ ශ්‍රීලංකන් කණ්ඩායමට සුබපැතීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමූහ තොරතුරු තාක්ෂණ ප්‍රධානී චාමර පෙරේරා මහතා පැවසී ය.

    ඉතාමත් නිවැරදි භාණ්ඩ කළමනාකරණ ක්‍රමවේදයන් හා පිරිවැය අවම කරන විධිවිධාන ක්‍රියාවට නැංවීමට උපකාරී වන සංකීර්ණ විශේෂාංග සහ දත්ත දෘශ්‍යකරණ හැකියාවන් රැසක් AMOS පද්ධතිය සතු ය. මේවා භාවිතයෙන් නඩත්තු කටයුතු නිවැරදිව සැලසුම් කිරීම මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයට ගුවන් ගමන්වලට සිදුවන බාධාවන් අවම වන පරිදි ගුවන් යානා නඩත්තු කටයුතු කළමනාකරණය කරගත හැකි වේ. එමෙන්ම එමගින් නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රමය සහ අමතර කොටස් ආදිය මැනැවින් සැලසුම් කරමින්, ගුවන් යානා භාවිතයෙන් ඉවත් කර තැබෙන කාලසීමාව අවම කිරීමටත්, අමතර කොටස් තොග ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීමටත් හැකියාව ලැබේ.

    එපමණක් නොව, AMOSmobile/EXEC මෘදුකාංග මගින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරුවන්ට සහ කාර්මික නිලධාරීන්ට කඩදාසි භාවිතයකින් තොරව ජංගම යෙදුමක් ඔස්සේ අමතර කොටස් ඇණවුම් කිරීමට, ගුවන් යානා එකතුවේ තත්ත්වය පරීක්ෂා කිරීමට සහ මූලික නඩත්තු කටයුතු සිදුකිරීමට හැකියාව ලැබී ඇත.