ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් පානීය ජලය මිලදී ගැනීමක් පිළිබඳ සමාජ මාධ්‍ය මගින් පළවන වාර්තා ගැන මෙසේ කියයි

    January, 9, 2020

    ශ්‍රීලංකන් ගුවන් සේවය පානීය ජලය මිලදී ගැනීමට අදාල අසත්‍ය වාර්තාවක් මේ දිනවල සමාජමාධ්‍ය ඔස්සේ හවුමාරු වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් ගුවන් සේවය කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන එම තොරතුරු වල සඳහන් ආකාරයේ ඩුබායි සමාගමකින් පානීය ජලය මිලදී ගැනීමක් හෝ  ජලය සඳහා අධික මිලක් ගෙවීම ගුවන් සේවය මේ වන විට සිදු නොකරන බව දැනුම් දෙමු.

    කෙටි ගමනාන්ත වල යෙදෙන ගුවන් යානයක සිටින සියලුම මගීන්ට ජලය වීදුරු වලට වත්කර සංග්‍රහ කිරීමට ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විසින් ගත කරන ලද දීර්ඝ කාලය හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් භාවිත කරනුයේ බෝතල් කළ ජලය හෝ පෙර ඇසුරුම් කරන ලද ජල කෝප්පයකි.

    එම ජල කෝප්පයේ විශාලත්වය නියම වී ඇත්තේ ගුවන් යානය තුළ භාවිතා කරන ආහාර තැටියේ  ප්‍රමාණය අනුව වන අතර ප්‍රධාන වශයෙන් මැදපෙරදිග හා ඈත පෙරදිග ගමනාන්ත වෙත සේවය කරන ගුවන් සමාගමේ පටු  බඳ සහිත ගුවන් යානා තුළ  භාවිත වන ආහාර තැටියට අර්ධ ප්‍රමාණයේ කෝප්පයක් අවශ්‍ය වේ.

    ශ්‍රීලංකන් ගුවන් සේවය රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරන අතර ඒ අනුව ගුවන් සේවය විසින් 2018 මාර්තු 6 සහ 7 යන දිනවල ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත්වල ඊට අදාල ටෙන්ඩර් දැන්වීමක් නිකුත් කරමින් නිශ්චිත අයිතමය සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ සහ විදේශීය සමාගම්වලින් ලංසු කැඳවීම සිදු කරන ලදී.  මෙම වෙළඳ දැන්වීම් සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ජල කෝප්ප ලබා දීමට  හැකි බවට කිසිදු යෝජනාවක් නොලැබුණු අතර, ලංසු ඉදිරිපත් කරන ලද්දේ  එක්සත් අරාබි එමීර් රාජ්‍ය පදනම් කරගත් සමාගම්වලින් වන අතර ඊට අමතරව මැලේසියාවෙන් ජලය සැපයීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාව පදනම් කරගත් සමාගමකින් ද ලංසු ඉදිරිපත් කරන ලදී.

    ශ්‍රී ලංකා සැපයුම්කරුවන්ට අනුග්‍රහය දැක්වීමට ඉතා කැමත්තෙන් සිටි ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුව ශ්‍රී ලංකාවේ තවත් ජල සැපයුම්කරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගත් නමුත් ඒ කිසිවෙකු මේ සඳහා උනන්දුවක් දැක්වූයේ නැත. එබැවින්, වඩාත් තරඟකාරී ලංසුව ඉදිරිපත් කර තිබූ ලැයිස්තුව අතරින් U A E පදනම් කරගත් සැපයුම්කරුවෙකු අදාළ ප්‍රසම්පාදන අධිකාරිය විසින් අනුමත කරන ලදී. පෙර ඇසුරුම් කරන ලද ජලය කෝප්පයක් සඳහා පිරිවැය එකල අදාළ විනිමය අනුපාතයට අනුව එ.අ.එ ඩිරම් 0.16146 හෝ ශ්‍රී ලංකා රුපියල් 6.96 විය. මේ අනුව, ගුවන් සේවය ඇමරිකානු ඩොලර් 7.80 ක මිලකට පෙර ඇසුරුම් කළ ජල කෝප්පයක් මිලදී ගන්නා බවට සමාජ මාධ්‍ය තුළ ඵලවන වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගම සමාජ වගකීම් ඉටුකරන ආයතනයක් වන අතර පරිසරයට සිදුවන හානිය අවම කිරීම සඳහා හරිත වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ප්ලාස්ටික් භාවිතය අවම කිරීම එවැනි එක් පියවරකි. නමුත් මේ වන විට පෙර ඇසුරුම් කළ ජලය අත්හිටුවීමට කළමනාකාරිත්වය විසින් තීරණයක් ගන්නා ලද නමුත් මීට පෙර ලබාගත් ජල කෝප්ප තොග ගුවන් සේවය සතුව පවතී.