ශ්‍රී ලංකන්, “වන් වර්ල්ඩ්“ සමග අළුත් ගමනක් අරඹයි

    April, 30, 2014

    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අද පෙරවරුවේ පැවති උත්සවයේදී “වන් වර්ල්ඩ්“ ගෝලීය ගුවන් සේවා සන්ධානය සමග එක්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම එම සන්ධානය සමග අත්වැල් බැඳගන්නා දකුණු ආසියාවේ පළමු ගුවන් සේවය බවට පත්විය.

    මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති, නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු දෙස් විදෙස් අමුත්තන් රැසක් සහභාගී විය.

    මෙහිදී, අදහස් දැක්වූ නිශාන්ත වික්‍රමසිංහ මහතා පැවසුවේ “වන් වර්ල්ඩ්“ ගෝලීය ගුවන් සේවා සන්ධානය සමග එක්වීම මගින් රටවල් 150 ක තිබෙන ගුවන් තොටුපොළවල් 1000 ක් සමග ශ්‍රී ලංකන් සම්බන්ධ වන බවයි.

    මේ අනුව, මැයි 01 වනදා උදෑසන 7.45 ට ක්වාලාලම්පූර් බලා පියාසර කරන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL318 දරණ ගුවන් යානය “වන් වර්ල්ඩ්“ ධජය යටතේ පියාසර කරන පළමු ශ්‍රී ලංකන් ගුවන් යානය වන අතර එම ගුවන් යානය අද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැවති උත්සවයේදී එළිදැක්වීය.

    “වන් වර්ල්ඩ්“ ගුවන් සේවා සන්ධානයට අයත් ගුවන් සමාගම් විසින් වසරකට මිලියන 500 කට අධික මගීන් රැගෙන යන අතර එයට අයත් ගුවන් යානා ගණන 3,300 ක්වේ. උතුරු සහ දකුණු ඇමරිකාව, යුරෝපය, නැගෙනහිර ආසියාව, චීනය, ඕස්ට්‍රේලියාව යන රටවලද සාමාජිකයින් සිටින මෙම ගුවන් සේවා සන්ධානයේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 140 ක් පමණ වනබව සඳහන්ය.

    මෙම ගෝලීය සන්ධානය හා එක්වීම සඳහා ගුවන් සමාගම දීර්ඝ කාලයක සිට ඉතා සාර්ථක අන්දමින් විවිධ පරීක්ෂණ සහ කඩඉම් පසුකරන ලදී. ඒ අනුව, “වන් වර්ල්ඩ්“ ප්‍රධාන කණ්ඩායම සමග එක්ව කැතේ පැසිෆික් එයාර්වේස් මගින් මෙහෙය වන ලද සූදානම් වීමේ පරීක්ෂණ සියල්ල ශ්‍රී ලංකන් විසින් සම්පූර්ණ කරන ලදී.

    මෙම සන්ධානයට එක්වීම තුළින් 2014 මැයි 01 වනදා සිට දැනට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර වැඩසටහන යටතේ ෆ්ලයි ස්මයිල්ස් (FlySmiles) සාමාජිකත්වය හිමිකර ගෙන සිටිනා 400,000 ක පමණ සමාජික සංඛ්‍යාවකට ඕනෑම “වන්වර්ල්ඩ්“ සන්ධානයේ සාමාජික ගුවන් සමාගමක සේවා ලබාගැනීමේදී සියලුම ප්‍රතිලාභ මේ අනුව හිමිකර ගැනීමේ අවස්ථාව සැලසේ.

    මෙම ගෝලීය කළාපයේ ප්‍රමුඛතම ගුවන් සේවා ලෙස කැතේ පැසිෆික්, ජැපෑන් එයාර්ලයින්ස්, මැලේෂියා එයාර්ලයින්ස්, කොන්ටාස් යන ආසියා ශාන්තිකර කළාපීය රටවල් වල ගුවන් සේවාද, යුරෝපයේ එයාර්බර්ලින්, බ්‍රිටිෂ් එයාර්වේස්, ෆින්එයාර් , අයිබීරියා යන ගුවන් සේවාද, රුසියාවේ එස් 07 එයාර්ලයින්ස්, මැද පෙරදිග කළාපයෙන් කටාර් එයාර්වේස්, රෝයල් ජෝදානියන්ද, ඇමරිකන් එයාර්ලයින්ස් ද, උතුරු ඇමරිකාවේ USඑයාර්වේස් සහ දකුණු ඇමරිකාවේ TAM යනාදී 30 කට අධික අනුබද්ධ ගුවන් සේවා සන්ධාන ගතවී ඇත.

    අද මත්තල ගුවන් තොටුපොළේ පැවති උත්සවයේ ඡායාරූප පෙළක් මෙන්න.

    සේයාරූ- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

    0405060708
    02