ශ්‍රී ලංකාවට එන ඉන්දියානුවන්ට ඉන්දියාවෙන් දැනුම් දීමක්

    August, 26, 2022

    උග්‍ර ආර්ථික අර්බුදයකට සහ දැඩි මුදල් අවප්‍රමාණයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ වෙසෙන තම ජාතිකයන්හට අවධානයෙන් සිටින ලෙස ඉන්දියාව දන්වා සිටී.

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Bagchi මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ (25) කියා සිටියේ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් විශාලතම මූලාශ්‍රය වන්නේ ඉන්දියාව බව සඳහන් කළ ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටියේය. “වත්මන් වාතාවරණය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දියානුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳව අප නිරන්තරයෙන් අවධානයෙන් සිටිනවා. ඔවුන් ඉන්දියාවෙන් පිටත සිටින අවස්ථාවේ දී ඔවුන් ගැන අවධානයෙන් පසුවීම අපගේ ප්‍රමුඛ කාර්යයක්.“

    ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය ජාතිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දේශීය අධිකාරීන් සමඟ සම්බන්ධ වී සිටින බව ඔහු වැඩිදුරටත් සහතික කළේය.

    ශ්‍රී ලංකාවේ සිටින කාලයේ දී රටේ මුදල් පරිවර්තනය කිරීමේ හැකියාව සහ ඉන්ධන තත්ත්වය පිළිබඳව දැඩිව අවධානයෙන් සිටින ලෙස ඉන්දියාව මෙහිදී වැඩිදුරටත් සිය වැසියන්ට අවධාරණය කර සිටී.

    එසේම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර අදාළ තත්ත්වයන් ගැන සුපරික්ෂාකාරී වන ලෙස ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා මෙහිදී දැනුම් දී තිබේ.