ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට විශේෂ වට්ටම්. දින 4 ක පැකේජයක් ඩොලර් 99 යි

    September, 18, 2018

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංචාරකයින්ගේ පැමිණීම් පහල මට්ටමක පවතින කාල වල දී ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම  වර්ධනය කර ගැනීම සදහා  රටේ ප්‍රධාන සංචාරක පාර්ශවකරුවන් සමග එක්ව පුරෝගාමී ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම නව ප්‍රවර්ධන වැඩසටහන මගින් එයට සම්බන්ද රට පුරා ඇති සංචාරක හෝටල් මගින් අමුත්තන්ට විශේෂ වරප්‍රසාද ලබා දීමට බලාපොරොත්තු වන අතර එමගින් සංචාරක පැමිණීම් අඩු කාලයන්හි සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට හැකි බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ බලාපොරොත්තුවයි.

    මෙම වැඩසටහනේ මුලික අදහස ශ්‍රී ලංකාව වසරේ දවස් 365 මුළුල්ලේ නැරඹීමට බොහෝ ආකර්ශනීය ස්ථාන හා  ත්‍රාසජනක ක්‍රියාකාරකම් ඇති සංචාරයට සුදුසු ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසන ආකාරයට සමහර සංචාර මෙහෙයවන්නන් විසින් හොවා දක්වන ආකාරයට ශ්‍රී ලංකාවේ වැසි කාල දෙක රටේ සෑම ප්‍රදේශයකට බල නොපාන හෙයින් සාමාන්‍ය මෝසම් වැසි කාලයක් ලෙස හැදින්විය නොහැකි බවයි.

    ඒ අනුව එය තව දුරටත් තහවුරු කිරීමට හා සංචාරකයින්  අඩු කාල වලදී පැමිණීම් ඉහල නැංවීමට ගුවන් සේවා, සංචාරක  හෝටල් හා ගමනාන්ත කළමනාකරණ සමගම් නියෝජනය කරන සංගම් තුනක් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග නව ‘අයිලන්ඩ් එස්කෙප්ස්’ ප්‍රවර්ධන වැඩසටහන හදුන්වා දී ඇත.

    මෙම වැඩසටහන සැප්තැම්බර් හා නොවැම්බර් මෙන්ම අප්‍රේල් හා ජුනි මාස අතර ක්‍රියාවට නංවන අතර 2018 සැප්තැම්බර් හා නොවැම්බර් මාස සදහා එයට සහභාගී වන සංචාරක හෝටල් විසින් අමුත්තන්හට දින 4/රාත්‍රී 3ක පැකේජයක් ඇමෙරිකානු ඩොලර් 99 වැනි ආකර්ශනීය වට්ටම් මුදලකට ලබා දීමට සැලසුම් කර ඇත.  සංචාරක කර්මාන්තකරුවන් පවසන ආකාරයට මෙය දැනට පවතින් ගාස්තුවෙන් 40 - 50% අඩු කිරීමක් වන අතර මෙම  වැඩසටහනට සම්බන්ද වන ශ්‍රී ලන්කන්, එමිරට්ස් හා කටාර් ගුවන් සේවාවන් විසින්ද සංචාරකයින්ට විශේෂ වට්ටම් ලබා දීමට අදහස් කර ඇත.

    “මෙය කර්මාන්ත පාර්ශවකරුවන්ගේ ක්‍රියාකාරී සහායත් සමග අප රටේ පවත්වන ප්‍රථම සැලසුම්සහගත හා පුළුල් ප්‍රවර්ධන වැඩසටහනයි. අපගේ අරමුණ සංචාරක පැමිණීම් අඩු සැප්තැම්බර් හා නොවැම්බර් මාස හා අප්‍රේල් හා ජුනි මාස අතර සංචාරක පැමිණීම් ඉහල මට්ටමකට ගෙන ඒමයි. නමුත් එම වැඩිවීම ක්ෂණිකව සිදු වේ යයි අප අපේක්ෂා නොකළ යුතුයි” යනුවෙන් සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.

    “නමුත් කර්මාන්තය දක්වන ලද උනන්දුව මගින් අප ධෛර්යමත් වූ අතර සංචාරක අමත්‍යංශය මෙම වැඩසටහන හදුන්වා දීමට හැකි වීම සම්බන්දයෙන් ඉතාමත් සතුටු වෙනවා. සිංගප්පූරුව, ඩුබායි වැනි රටවල් මෙවැනි වැඩසටහන් සාර්ථකව හදුන්වා දී ඇති අතර  ශ්‍රී ලංකාවේ මම ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය අනුව තදුරටත් එහි වෙනස් කම් සිදුකරමින් සාර්ථක කර ගැනීමට කටයුතු කරනවා” යැයි මෙම වැඩසටහන හදුන්වා දීමට තම නායකත්වය දුන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තව දුරටත් පැවසීය.

    මෙම ප්‍රවර්ධන වැඩසටහනේ පළමු අදියර කෙටි දුර සංචාරක වෙළඳපොලවල් වන ඉන්දියාව, චීනය හා මැද පෙරදිග ඉලක්ක කර ක්‍රියාත්මක වනු ඇත. එහි ප්‍රචාරක උපාය මාර්ග ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් පිටුව තුල ඉංග්‍රීසි, හින්දි, චීන හා අරාබි බසින් මයික්‍රෝ වෙබ් අඩවි හදුන්වා දීමට නියමිත අතර සමාජ මාධ්‍ය, වීඩියෝ බ්ලොග්, වෙන්කරවා ගැනීම් වෙබ් පිටු, සෙවුම් වෙබ් පිටු, ජංගම යෙදුම් ප්‍රචාරණය හා ඍජු විද්‍යුත් ප්‍රවර්ධන ව්‍යාපාර හා මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කිරීමටද  නියමිතයි.