ශ්‍රී ලංකාවේ ‘ආර්ථික ස්වාධීනත්වය‘ 19 කින් පහළට

    February, 21, 2017

    එක්සත් ජනපදයේ Heritage Foundation විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ආර්ථික ස්වාධීනත්ව දර්ශකයට (Index of Economic Freedom) අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19 කින් පහළට ගොස් තිබේ.

    මේ අනුව නොබෝදා එළිදක්වන ලද 2017 ආර්ථික ස්වාධීනත්ව දර්ශකයේ 112 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙන අතර 2016 වසරේ දී ශ්‍රී ලංකාව 93 වැනි ස්ථානයේ පසුවිය.

    මෙහිදී ශ්‍රී ලංකාවට 57.4 ක ලකුණු ප්‍රමාණයක් ලැබී තිබෙන අතර පසුගිය වසර 6 ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලැබුණු අඩුම ලකුණු ප්‍රමාණය ලෙසින් මෙය වාර්තා වේ. ලකුණු 100 ක සමස්තයකින් හිමිවන මෙම ලකුණු ප්‍රමාණය 2016 වසරේ දී 59.9 ක් විය.

    මෙම වර්ගීකරණයේ දී ලකුණු 50 ට වඩා අඩුවෙන් ලබා ගන්නා රටවල් ආර්ථික ස්වාධීනත්වය යටපත් කරනු ලැබූ (Repressed) රටවල් ලෙසින් හඳුන්වා ඇති අතර ලකුණු 50-70 අතර රටවල් වැඩිවශයෙන් ආර්ථික පරාධීන (Mostly Unfree) රටවල් ලෙසින් හඳුන්වා තිබේ. ශ්‍රී ලංකාව අයත් වන්නේ එම කාණ්ඩයට ය.





    70-80 ලකුණු කාණ්ඩයේ රටවල් වැඩිවශයෙන් ආර්ථික ස්වාධීනත්වයක් ඇති රටවල් ලෙසත් ලකුණු 80 ට වඩා ලබා ඇති රටවල් පූර්ණ නිදහස් රටවල් ලෙසත් හඳුන්වා ඇත.

    මෙහිදී ආර්ථික නිදහස ඇති ලොව හොඳම රටවල් 5 වශයෙන් හොංකොං, සිංගප්පූරුව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව හා ස්විස්ටර්ලන්තය නම් කර තිබේ.

    රටවල් 180 ක් මෙම ඇගයීමට යොදාගෙන ඇති අතර ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සිරියාව, යේමනය හා Liechtenstein යන රාජ්‍යයන් මෙම අධ්‍යයනයට යොදා ගෙන නොමැත.