October, 26, 2026
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය 2026 ඔක්තෝබර් 13 සිට 16 දක්වා ඉතාලියේ රෝමයේ පැවති එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) Hand-in-Hand ආයෝජන සමුළුවේදී, මෙරට කෘෂි-ආහාර හා ජලජ සම්පත් ආශ්රිත කර්මාන්ත සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 65.1ක සමස්ත වටිනාකමකින් යුත් ආයෝජන ව්යාපෘති හතරක් ජාත්යන්තර ආයෝජකයන් වෙත ඉදිරිපත් කළේය. ලංකා කුරුඳු, ලංකා කෝපි, කළු ගම්මිරිස් සහ මුහුදු කූඩැල්ලා ආශ්රිත නිෂ්පාදනවලට නවීන විද්යාත්මක හා සැකසුම් තාක්ෂණය යොදා ගනිමින් ඉහළ වටිනාකමක් එකතු කිරීම මෙහි ප්රධාන අරමුණයි. ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසට අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ද එක්විය.

අමුද්රව්ය අපනයනයෙන් ඉහළ වටිනාකමක් සහිත නිෂ්පාදන කරා
සියවස් ගණනාවක කුළුබඩු වෙළෙඳ උරුමයක් සහිත ශ්රී ලංකාව අදටත් ලෝකයේ පිළිගත් කෘෂි-ආහාර නිෂ්පාදන සපයන නමුත්, අමුද්රව්ය ලෙස අපනයනය කිරීම හේතුවෙන් එම නිෂ්පාදනවලින් උපරිම ආර්ථික ප්රතිලාභ රට තුළ රඳවා ගැනීම සීමා වී තිබේ. සැකසුම් හා නිස්සාරණ පහසුකම් සංවර්ධනය, නිෂ්පාදනවල මූලාශ්රය තහවුරු කිරීම, ජාත්යන්තර සන්නාම ගොඩනැගීම සහ ඉහළ වටිනාකමක් සහිත වෙළෙඳපොළ වෙත ප්රවේශය වැඩිදියුණු කිරීම මෙම අභියෝග ජයගැනීම සඳහා අත්යවශ්ය වේ.
ඒ අනුව, මිල හා ප්රමාණය මත පමණක් තරග කරන සාම්ප්රදායික වෙළෙඳපොළ වෙනුවට, ශ්රී ලංකාවේ නිෂ්පාදනවලට ආවේණික ගුණාංග පදනම් කරගත් නව්ය, ඉහළ වටිනාකමක් සහිත වෙළෙඳපොළ වෙත යොමු වීමට ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය අවධානය යොමු කරයි. ලංකා කුරුඳුවල ස්වභාවිකව පවතින අඩු කූමරින් (Coumarin) අන්තර්ගතය, කළු ගම්මිරිස්වල පයිපරීන්(Piperine) සංයෝගය, මෙරට ජෛව විවිධත්වය සහ දේශීය වෛද්ය උරුමය මේ සඳහා සුවිශේෂී පදනමක් සපයයි.
ප්රධාන ආයෝජන ව්යාපෘති හතර
ඉදිරිපත් කළ ව්යාපෘති අතරට ලංකා කුරුඳු ආශ්රිත නිස්සාරණය, සැකසීම හා පෝෂක ඖෂධ නිෂ්පාදනය සඳහා ඩොලර් මිලියන 20ක්; විශේෂිත කෝපි කර්මාන්තය සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 29.4ක්; කළු ගම්මිරිස් සැකසීම හා සංයෝග නිස්සාරණය සඳහා ඩොලර් මිලියන 7.5ක්; සහ මුහුදු කූඩැල්ලන් වගාව හා අපනයන සැකසුම් සඳහා ඩොලර් මිලියන 8.2ක් ඇතුළත් වේ. මෙම ව්යාපෘතිවල අපේක්ෂිත සංයුක්ත අභ්යන්තර ප්රතිලාභ අනුපාතය 26%කි.
මෙම ව්යාපෘති මඟින් සෘජු ප්රතිලාභීන් 21,100කට පමණ සහ වක්ර ප්රතිලාභීන් 84,000කට වැඩි පිරිසකට ප්රතිලාභ සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්, ලංකා කුරුඳු ව්යාපෘතිය සඳහා 35.4%ක අභ්යන්තර ප්රතිලාභ අනුපාතයක් අපේක්ෂා කෙරෙන අතර, කෝපි කර්මාන්තය ප්රවර්ධනය කිරිම සහ වැඩි දියුණු කිරීම සහ මුහුදු කූඩැල්ලන් සඳහා පවතින ජාත්යන්තර ඉල්ලුම සපුරාලීම ද ප්රමුඛ අරමුණු වේ.
නවීන විද්යාව හා තාක්ෂණය ඔස්සේ ගෝලීය තරගකාරිත්වය
DNA බාර්කෝඩ් තාක්ෂණය මඟින් නිෂ්පාදනවල සත්යතාව හා මූලාශ්රය තහවුරු කිරීමත්, රසායනික සංයෝග විශ්ලේෂණය මඟින් ඒවායේ සුවිශේෂී සක්රීය සංඝටක හඳුනාගැනීමත් මෙම වැඩපිළිවෙළේ වැදගත් අංග වේ. උසස් CO₂ නිස්සාරණය, ජෛව සක්රීය සංයෝග ප්රමිතිකරණය සහ පර්යේෂණ මත පදනම් වූ නිෂ්පාදන සංවර්ධනය මඟින් පෝෂක ඖෂධ, රූපලාවණ්ය හා සුවතා නිෂ්පාදන සඳහා නව අවස්ථා නිර්මාණය කළ හැකිය.
විදේශීය ආයෝජකයන්ට සියයට 100ක් දක්වා හිමිකාරිත්වය ලබාගැනීමේ හැකියාව, වෙළෙඳ ගිවිසුම් හරහා ජාත්යන්තර වෙළෙඳපොළ වෙත ප්රවේශය සහ කොළඹ වරාය ඇතුළු සැපයුම් පහසුකම් ශ්රී ලංකාවේ ආයෝජන වාසි තවදුරටත් ශක්තිමත් කරයි.
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය, FAO සහ අදාළ රාජ්ය ආයතන සමඟ එක්ව, මෙම ව්යාපෘති සඳහා ප්රාග්ධනය, නවීන තාක්ෂණය සහ ගෝලීය වෙළෙඳපොළ සම්බන්ධතා සැපයිය හැකි ආයෝජකයන් හා තාක්ෂණික සමාගම් සමඟ සහයෝගීතාව වර්ධනය කිරීමට අපේක්ෂා කරයි.
මෙම වැඩපිළිවෙළේ දිගුකාලීන අරමුණ වන්නේ ශ්රී ලංකාව අමුද්රව්ය අපනයනය කරන රටක සිට, නවීන තාක්ෂණය සහ නවෝත්පාදනය පදනම් කරගත් ඉහළ වටිනාකමක් සහිත නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළට සපයන තරගකාරී ආයෝජන ගමනාන්තයක් බවට පත් කිරීමයි.
Video Story