ශ්‍රී ලංකාවේ ගෑස් කැනීම් සඳහා විදෙස් උපදෙස් අනවශ්‍යයි – නිලධාරීන් කියයි

    June, 28, 2022

    මෙරට භූමියේ අවශ්ය කැනීම් සිදුකර ගෑස් සහ බොරතෙල් ලබාගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කරන ලද මාර්ග සිතියමක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් විදුලි බල හා බලශක්ති අමාත්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
    විදුලි බල හා බලශක්ති අමාත්යාංශයේ නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදුන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
    මෙහිදී ලංකාවේ සැලසුම් කොට ඇති ස්වභාවික වායු කැනීමේ ව්යාපෘති (LNG) පිළිබඳව සහ ඒ්වායේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඉදිරිපත්කිරීමක් අමාත්යාංශ නිලධාරීන් සිදු කළ අතර මෙම කැනීම් සඳහා විවිධ බාධාවන් පවතින බවද ඔවුහු පෙන්වා දුන්හ.
    මෙහිදී පැමිණ සිටි මන්ත්රීවරුන් විසින් මේ සඳහා සම්බන්ධවන පාර්ශ්වයන් පිළිබඳව විමසන ලදි. එසේම මෙම කැනීම් සඳහා විදේශ රජයන්ගේ උපදෙස් අවශ්යවන්නේදැයි එම මන්ත්රීවරු විමසා සිටියහ. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ එසේ වෙනත් රජයන්ගෙන් උපදෙස් අවශ්ය නොවන බවයි.
    මේ අනුව මෙම කැනීම් ඉක්මනින් සිදු කොට අවසන් විය යුතු බවත් එය රටේ අවශ්යතාවයක් බවත් එබැවින් මෙම කැනීම් සිදු කිරීමට මාර්ග සිතියමක් ඉක්මනින් සකස් කරන ලෙසත් කෝපා කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.