ශ්‍රී ලංකාවේ ණය බර සැහැල්ලු කරන්න අමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය පෙරට එයි

    September, 28, 2016

    ශ්‍රී ලංකාවේ ණය බරතාව අවම කිරීම සඳහා සිය පූර්ණ සහය ලබා දෙන බව ලොව ප්‍රබල රටවල් රැසක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි. අමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය යන රටවල් ඊයේ (27) නිල වශයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත මේ බව දැනුම් දුන්නේය. ඒ එම රටවල තානාපති සහ මහකොමසාරිස්වරුන් සමග අද මුදල් අමාත්‍යාංශයේ දී පැවැති හමුවක දීය. මෙම රටවල් හතර, ආර්ථික වර්ධනය සහ ලෝක වෙළෙඳාම ශකිත්මත් කිරීම සඳහා 1961 වසරේ දී පිහිටුවාගත් ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ ප්‍රබල සාමාජිකයන්ය. රටවල් අතර ණය හුවමාරුවල දී පොලී අනුපාත සකස් කිරීමේ කටයුතු ද මෙම සංවිධානය සිදු කරනු ලබයි. මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,500ක් පමණ වේ. ඉන් 42%ක් විදේශ ණය ලෙස පවතියි.

    මෙම ණය බරතාවයෙන් මිදීම සඳහා දැනට ශ්‍රී ලංකාව විසින් ගෙවා දමමින් සිටින ණය මුදල්වලට අදාළ, පොලී අනුපාත අවම කිරීම සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කෙරිණි. ඉදිරියේ දී ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත් වීමෙන් සහන පොලී මත ණය ලබා ගැනීම ගැටලුවක් බවට පත් වෙයි. වසර තිහක යුධ සමයකින් අනතුරුව රට ආර්ථික සංවර්ධනය සඳහා පියවර තබා තිබේ. රටක් ලෙස ආර්ථිකය ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කළ යුතු අත්‍යාවශ්‍ය ව්‍යාපෘති රැසක් පසුගිය පාලන සමයේ දී සිදු වී නොමැත.

    එබැවින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් සංවර්ධන කටයුතු පවත්වාගෙන යාම සඳහා වත්මන් රජය යටතේ ව්‍යාපෘති ආරම්භ කර ඇති බැවින් තව දුරටත් ජගත් ප්‍රජාවගේ සහය ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි. ඒ අනුව අඩු පොලී සහන ණය ලබා ගැනීම සඳහා ලෝක බැංකුවට නිර්දේශ ඉදිරිපත් කරන ලෙස මෙම සාකච්ඡාවේ දී විදේශීය තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය. ඒ සඳහා තානාපතිවරු සහ මහකොමසාරිස්වරු එකඟතාව පළ කළහ. සිය රටවල සිටින ලෝක බැංකු නියෝජිතයන් හරහා අදාළ ඉල්ලීම ලෝක බැංකුවේ ඉහළ මට්ටමේ නියෝජිතයන් වෙත දැනුම් දෙන බව ද ඔවුහු වැඩිදුරටත් අවධාරණය කළහ.

    මෙම අවස්ථාවට ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහවු මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ද එක් ව සිටියහ.