ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ යාවි ද?

    July, 5, 2024

    ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන (Rating Agencies) විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති ණය ශ්‍රේණීන් (Credit Ratings) හි සිදුවිය හැකි වෙනස්කම් සම්බන්ධයෙන් අද (05) පැවති මාධ්‍ය හමු දෙකක දී අදහස් පළ විය.

    අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ ණ්‍ය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට මේ වන විට ලැබී ඇති 'Default' කාණ්ඩයෙන් එළියට ඒමට හැකිවනු ඇති බවයි.

    “අපිට දැනට තියෙන්නේ තාවකාලිකව ණය අත්හිටුවීම නිසා S&P සහ Fitch දෙකෙන් Restrictive Default සහ Selective Default කියන වර්ගීකරණ කාණ්ඩ දෙක. Moody's වල Ca කියන ශ්‍රේණිය. ඊළඟ පියවර තමයි මේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්පූර්ණ කරලා ගෙවීම පටන් ගත්තට පස්සේ සියලුම පාර්ශවවලට, D කියන එකෙන් අපි එලියට එනවා. ඊට පස්සේ CCC එකට තමයි යන්න තියෙන්නේ“, යනුවෙන් මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය.

    මේ අතර අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ, ණය ශ්‍රේණීන් ඉහළ යන කාලරාමුවක් නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි.

    “අපිට අපේ ණය ශ්‍රේණිය ඉහළ නංවන කාලරාමුවක් ගැන සඳහන් කරන්න බැහැ. අපේ වගකීම වෙන්නේ ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීම, ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම. ඉන්පසු අපේ ණය ශ්‍රේණිය ඉහළ දැමීම සඳහා සුදුසු ද යන වග, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ඇගයීමක් සිදුකරයි“, යැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.