ශ්‍රී ලංකාවේ ප්‍රථම චීන යුවාන් ගෙවීම් පියවීම් බැංකු ශාඛාව විවෘත වෙයි

    October, 19, 2026

    ශ්‍රී ලංකාව සහ චීනය අතර මූල්‍ය සබඳතා පහසු කරමින් සහ සහ දෙරට අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ 'චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව' (RMB Clearing Bank) නිල වශයෙන් පසුගිය දා විවෘත කෙරුණි.
    චීනය සමඟ සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී ශ්‍රී ලංකා රුපියල් ඇමෙරිකානු ඩොලර් බවටත්, අනතුරුව චීන යුවාන් බවටත් පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව අවම කර ගැනීමට හැකි වීම, මෙම පහසුකම ආරම්භ කිරීමේ ප්‍රධානතම වැදගත්කම වේ. ඒ වෙනුවට සුදුසු ගනුදෙනු සෘජුවම යුවාන් මුදලින් පියවීමේ හැකියාව ලැබීමෙන් විනිමය පරිවර්තන පිරිවැය සහ විනිමය අනුපාත වෙනස්වීම් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් අඩු කර ගැනීමට හැකි වනු ඇත.
    චීන මහජන බැංකුව (People’s Bank of China) විසින් බලය පවරන ලද චීන බැංකුවේ (Bank of China) කොළඹ ශාඛාව මෙම පියවීම් බැංකුව ලෙස කටයුතු කරයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සහ චීනයේ මූල්‍ය පද්ධතිය අතර සෘජු සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින් චීන යුවාන් මුදලින් සිදුකරන දේශසීමා හරහා ගෙවීම් සහ දේශීය බැංකු අතර ගනුදෙනු වඩාත් පහසු කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ.
    මීට අමතරව, මෙතෙක් ශ්‍රී ලංකාවේ බැංකු අතර යුවාන් ගනුදෙනු සිදුකිරීමේදී චීනයේ බැංකු හරහා ගෙවීම් යොමු කිරීමට සිදුවීම නිසා ඇතිවිය හැකි අමතර අතරමැදි ක්‍රියාවලීන් සහ කාලය වැයවීම අවම කිරීමට ද මෙම නව පහසුකම උපකාරී වේ. ඒ අනුව, ගෙවීම් පියවීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ගනුදෙනු පිරිවැය අඩු කිරීමටත්, ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට වඩාත් පහසු මූල්‍ය සේවාවන් ලබා ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත.