May, 27, 2019
මෙරට විශාලතම සමාගම් සමූහය ලෙසින් සැලකෙන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 2019 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ මූල්‍ය වාර්තා මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
ඊට අනුව 2019 මාර්තු 31න් අවසන් කාර්තුව තුළ දී සමාගමේ බදුගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 3,644 ක් ලෙසින් සටහන් වේ. මෙය 2018 මාර්තු 31න් අවසන් කාර්තුව තුළ දී සමූහය විසින් වාර්තා කර තිබූ රු. මිලියන 11,291ක බදු පසු ලාභය හා සැසඳීමේ දී 64% ක පහළ යාමකි.
මේ අතර 2018/19 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි බදු ගෙවීමෙන් පසු ලාභය සටහන් වන්නේ රු. මිලියන 16,237 ක් වශයෙනි. මෙය 2017/18 මූල්‍ය වර්ෂයේ වාර්තා වූ බදු පසු ලාභ අගය වන රු. මිලියන 23,119 ට වඩා 30% ක් අඩු වීමක් ලෙසින් සටහන් වී ඇත.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි මූල්‍ය වාර්තා පිරික්සීමේ දී දැකිය හැකි විශේෂ කරුණක් වන්නේ 2019 මාර්තු 31 න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී සමූහයේ මූල්‍ය පිරිවැය රු. මිලියන 113 සිට රු. මිලියන 1,157 ක් දක්වා 918%ක දැවැන්ත වැඩිවීමක් වාර්තා කිරීමයි. එසේම 2018/19 සමස්ත මූල්‍ය වර්ෂය සැලකීමේ දීද මෙම අගය රු. මිලියන 520 සිට රු. මිලියන 2,722 ක් දක්වා 423%කින් ඉහළ ගොස් තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර තිබෙන සමාගම්වලින් ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන සමාගම් අතුරින් දෙවන තැන ගන්නේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයයි. එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රු. බිලියන 181.24ක් වන අතර සමස්ත වෙළෙඳපොළෙන් 8.13% ක ප්‍රමාණයකට එය හිමිකම් කියනු ලබයි.
Video Story