ශ්‍රී ලංකාවේ වාහන තදබදය වැඩිම ස්ථානය හඳුනාගැනේ. ගුවන් පාලම් දෙකක් ඉදිකරන්න කැබිනට් අනුමැතිය

    August, 27, 2020

    ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම වාහන තදබදය පවතින ස්ථානය ලෙස කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසල ප්‍රදේශය හඳුනාගෙන ඇති බවත් ඊට විසඳුම් වශයෙන් කොම්පඤ්ඤවීදියේ දුම්රිය ස්ථානය අසල උත්තරානන්ද මාවතේ සහ විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලම් ඉදිකිරීමට තීරණය කර ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    අද (27) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ බව පැවසයී. මෙම ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 6ක මුදලක් ඇස්තමේන්තු කර ඇති බව සම කැබිනට් ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    “ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම වාහන තදබදය පවතින ස්ථානය විදියට කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසල හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන්ම රටේ හදවත බඳු කොළඹ නගරය මැද පැය 3ක 4ක වාහන තදබදයක් ඇති කරන ස්ථානයක් බවට ඒ ස්ථානය හඳුනාගෙන තියෙනවා.“

    “ඒ නිසා මහාමාර්ග අමාත්‍යතුමා විසින් ඊට විසඳුමක් විදියට කොම්පඤ්ඤවීදියේ දුම්රිය ස්ථානය අසල තියෙන උත්තරානන්ද මාවතේ මීටර 420 ක දිගින් යුතු, විනිසුරු අක්බාර් මාවතේ මීටර 350 ක දිගින් යුතු ගුවන් පාලම් දෙකක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම වෙනවා රුපියල් බිලියන 6ක්.“

    “මේ හරහා කොළඹ නගරයේ තියෙන වැඩිම වාහන තදබදය තියෙන ස්ථානයේ ඒ ප්‍රශ්නය නිරාකරණය වෙනු ඇතැයි කියලා අපි කල්පනා කරනවා.“