ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ජාතික මුලපිරීම් තුනක් ඉදිරිපත් කෙරේ

    February, 3, 2020

    එලයිට් සිකියුරිටීස් ලංකා හි ප්‍රධානියා ලෙස කටයුතු කරන මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන රිචඩ් ඩි සොයිසා මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රජාව පිළිබඳ මනා දැක්මක් ඇති වෘත්තිකයින්, ආගමික නායකයින් හා අධ්‍යාපනඥයින් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඉවහල් වන ජාතික මුලපිරීම් තුනක් සම්පාදනය කර තිබේ. මෙය ගරු කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් හා මාධ්‍ය වෙත පිරිනැමීම පසුගිය දා සිදුකෙරිණි. රටේ සහ ජනතාවගේ අනාගත සෞභාග්‍ය වෙනුවෙන් සම්පාදනය කර ඇති මෙම මුලපිරීම් තුන ඉංග්‍රීසි, ආචාරධර්ම හා වෘත්තීය පුහුණුව යනුවෙන් නම් කර තිබේ. ශ්‍රී ලංකාවේ සෑම සිසුවෙකුටම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා දැනුමක් තිබිය යුතු බව තදින්ම ඒත්තු ගැන්වූ ඩි සොයිසා මහතා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහාය ඇතිව 2000 වසරේදී ජාතික ඉංග්‍රීසි පදනම (NEF) දියත් කළේය. ඔහු මෙහිදී විශ්වාස කරනුයේ නව ජනාධිපතිවරයෙකු යටතේ මේ සඳහා දෙවන අවස්ථාවක් තමන්ට ලැබී ඇති බවයි.

    ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු සැබෑ දේශප්‍රේමියෙකු වූ රාජ නීතිඥ ෆ්‍රැන්සිස් ඩි සොයිසා ගේ මුණුපුරෙකු වන ද සොයිසා මහතා, අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ රිචඩ් මනික් ඩි සොයිසා ගේ ඥාති සොහොයුරා වේ. ඔහු මේ වන විටත් මෙම මුලපිරීම් හි ඇති වැදගත්කම පිළිබඳව ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කර ඇත. ඉතා ලාබාල අවදියේදීම කාර්මික හා වාණිජ සුරක්‍ෂිතතාව පිළිබඳ වෘත්තියක් හැදෑරූ ඩි සොයිසා පෞද්ගලික අංශය මුහුණ දෙන සංකීර්ණ ආරක්ෂක ගැටලුවලට විසඳුම් සෙවීමේ දී නම්දරාපු චරිතයක් බවට පත්විය. මේ වන විට ඔහු ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය සඳහාම වූ වෙන්කිරීම් සිදුකිරීමේ යන්ත්‍රණයක් සහ සමාලෝචන අඩවියක් සම්පූර්ණ කිරීමට ආසන්නව සිටී.

    මෙම අවස්ථාව අමතමින් ඩි සොයිසා මහතා මෙසේ අදහස් දැක්වීය. “සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අනාගත සෞභාග්‍ය වෙනුවෙන් ඉතා වැදගත් අංශ වශයෙන් මේවා ජනාධිපතිවරයා පිළිගනු ඇතැයි මම අපේක්ෂා කරනවා. ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ දී රජය මෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව ද අත්‍යාවශ්‍ය සාධකයක් වෙනවා. සැමට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම, පෙර පාසලේ සිට 3 වසර දක්වා ආචාර ධර්ම ඉගැන්වීම, පාසැල් හැරයන්නන්ට තමන් කැමති වෘත්තීය පුහුණු ලබා ගැනීම සඳහා සෑම පාසැලකම උපදේශන සේවා ස්ථාපිත කිරීම යනාදිය ජනාධිපතිවරයා, රජය සහ පාර්ලිමේන්තුව ඉතා වැදගත් කොට සලකනු ඇතැයි මා සිතනවා.“

    ඉංග්‍රීසි යනු ලෝකයේ පුරවැසියන් සම්බන්ධ කරන වඩාත් වැදගත්ම භාෂාවයි. එය බොහෝ විට වාණිජමය වශයෙන් හා තොරතුරු තාක්ෂණය සඳහා ලොව පුරා පොදුවේ භාවිත කරනු ලබන භාෂාව වේ. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ශ්‍රී ලංකාවට මෙම උරුමය හිමි වූ අතර මනා දැක්මකින් යුතුව කටයුතු කිරීම තුළින් මෙය පොදු සන්නිවේදන මාධ්‍ය ලෙස තබා ගැනීමට අවස්ථාව පැවතුණි. “මව් භාෂාව උසස් විෂයයක් ලෙස අනිවාර්ය කළ යුතු අතර තෝරා ගැනීම අනුව එය නිදහසේ භාවිත කරන්නට අවස්ථාව ලැබිය යුතුයි. අපගේ වාර්ගික අනන්‍යතාවය සහ උරුමය අතිශයින්ම වැදගත් ලෙස ආරක්ෂා කළ යුතු නමුත් අප ඉදිරියට යාමට නම් ඉංග්‍රීසි නොසලකා හැරිය නොහැකියි. “මෙහිදී ඩි සොයිසා ගේ දැඩි බලාපොරොත්තුව නම් රජයේ අනුමත පුණ්‍යායතනයක් ලෙසින් ජාතික ඉංග්‍රීසි පදනම ඉතා මැනවින් ප්‍රඥප්තියක් මගින් බලාත්මක කරනු ඇති බවයි. ඉංග්‍රීසි සුදුසුකම්ලත් සේවකයින්ගේ දැඩි හිඟයකට මුහුණ දෙන ආයතනික අංශය සහ ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් මෙම කටයුත්තට සහයෝගය දක්වනු ඇතැයි ඔහු විශ්වාස කරයි. “වසර 14ක මාගේ දැඩි කැපවීම මෙම සංකල්පය ගොඩනැගීම සඳහා වන තවත් වසර 2 ක් සමඟින් යථාර්ථයක් වනු ඇතැයි මම සිතනවා. ජාතික ඉංග්‍රීසි පදනමට භාරකරුවන් හත්දෙනෙකු සිටිනවා. අප මෙම ආයතනය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආධාර ලබා ගැනීමට හැකි ආයතනයක් බවට පාර්ලිමේන්තු අනුමැතියෙන් නීතිගත කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.“ මෙහි භාරකාර මණ්ඩලයට පාර්ලිමේන්තුවෙන් නම් කරන ලද දෙදෙනෙකු සහ වෘත්තිකයන් පස් දෙනෙකු ඇතුළත් වේ. ඔවුන් සතුව ඇති සියලු සම්පත් උපයෝගී කර ගනිමින් ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා දූරදර්ශී සැලැස්මක් සැලසුම් කරන අතර එය දිවයිනේ සෑම ප්‍රදේශයකම ලබා ගත හැකිය. ගුරුවරුන් පුහුණු කිරීම මෙහි ඉතා වැදගත් අංගය වනු ඇත.

    ආචාර ධර්ම ඉගැන්වීම සම්බන්ධයෙන් ආචාර ධර්ම සඳහා පස් අවුරුදු විෂය නිර්දේශයක් සම්පාදනය කෙරෙන අතර එය පෙර පාසල්වල සහ ප්‍රාථමික පාසල්වල 3 වන වසර දක්වා උගන්වනු ලැබේ. පුහුණුව ලත් ගුරුවරුන් හට මෙය ඉංග්‍රීසි භාෂාවෙන් නොව තම මව් භාෂාවෙන් ඉගැන්විය හැකි අතර ඒ සඳහා එක් වරක් පමණක් පිරිවැයක් දැරිය යුතු වේ. සදාචාරාත්මක මූලධර්ම මත මෙම ආචාරධර්ම පදනම් වී තිබේ. ඒවා ලාබාල වියේදීම හැදෑරීමට අවස්ථාව ලබන්නෝ වාසනාවන්තයෝ වෙති. එය ඔවුන්ගේ චර්යාවන්ගෙන්ම පිළිබිඹු වේ. එබැවින් වයස අවුරුදු 7 ක් දක්වා දරුවෙකුගේ පෞරුෂත්වය හා චරිතය වර්ධනය වන බැවින් පෙරපාසල් මට්ටමින් විෂයයක් ලෙස ආචාරධර්ම හඳුන්වා දෙනු ලැබීම දරුවාට ඉතා ප්‍රයෝජනවත් වේ. “ඉන්පසු ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳව ඔබට වෙනස් කිරීමට නොහැකිය. සියලුම දරුවන්ට ආචාර ධර්ම, යහගුණ, හොඳ පුරුදු සහ පෞරුෂ සංවර්ධනය පෙරපාසැල් අවධිය ආරම්භයේ සිටම ඉගැන්වීම අනිවාර්ය කළ යුතුය. මෙය ඉංග්‍රීසි අධ්‍යාපනයට සමගාමීය ක්‍රියාවට නැංවිය යුතු වේ.“

    වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන්, සෑම පාසලකටම මණ්ඩලයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව උපදේශකවරුන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කරනු ඇත. පාසැල් හැරයන්නන්ට සිය වෘත්තීය තෝරාගත යුතු ආකාරය පිළිබඳව උපදෙස් දීම ඒ හරහා සිදුවේ. “පාසැල් අධ්‍යාපනය සඳහා යොමු වන සියලු සිසුන් උසස් පෙළ හැදෑරීම සඳහා යොමු වන්නේ නැත. සමහරක් දෙනා සාමාන්‍ය පෙළටවත් වාඩිවන්නේ නැත.“ පාසැලෙන් පිටවන සෑම සිසුවෙකුම රැකියාවක හෝ ස්වයං රැකියාවක නිරතවන්නේ දැයි අධීක්ෂණය කිරීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. “වෙනත් ලෙසකින් කිවහොත් පාසැල් හැර යන සියලු සිසුන් අධීක්ෂණය කළ යුතුය. මෙම සංකල්ප තුනම ව්‍යුහගත වූ ස්ථිර පදනමක් ගොඩනැගීමේ වැදගත්කම අප සෑම කෙනෙකුම අවබෝධ කර ගත යුතුය යන කාරණය මම මෙහිදී නැවත අවධාරණය කරනු ලබනවා.“ පාසැල් හැරයන්නන් සඳහා අදාළ වන වෘත්තීය පුහුණු වැඩසටහන සඳහා පොදු මෘදුකාංගයක් හා එය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ඉතා අඩු පිරිවැයකින් යුක්ත විය යුතුය. මෙකී සියලු වැදගත් සංකල්ප සමස්ත ලෝකයටම ආදර්ශයක් සපයනු ඇත යන්න ඩි සොයිසා මහතාගේ අභිලාෂයයි.

    මේ සඳහා වන පදනම රජය විසින් ලබා දිය යුතු බව ඩි සොයිසා මහතා අවධාරණය කරනු ලබයි. “රජය දූරදර්ශීව සලකා බලා මෙය අනුමත කිරීමට සහායක් ලබා නොදෙන්නේ නම්, මෙම මුලපිරීම තිඹිරිගෙය තුළම වැළලී යා හැකිය.

    මෙම ව්‍යාපෘති සුවිශේෂී යථාර්ථයක් බව පැහැදිලිව තහවුරු වූ විට, රජයට අමතරව  දේශීය ප්‍රතිලාභීන්, ආයතනික අංශය, විදේශීය රජයන් සහ වෙනත් පරිත්‍යාගශීලීන් ප්‍රමාණවත් පරිදි දායකත්වයක් ලබා දෙනු ඇතැයි මට විශ්වාසයි.“ සෑම දිස්ත්‍රික්කයකම සම්මන්ත්‍රණ, වෘත්තීයමය පුහුණු හා ඉංග්‍රීසි මධ්‍යස්ථාන පැවැත්වීම හරහා NEF සිය අරමුදල් සපුරා ගනු ඇත.

    මෙම මූලාරම්භය ඉදිරියට ගෙන යාම සඳහා අත්තිවාරම සැකසීම සම්බන්ධයෙන් ඩි සොයිසා මහතා පැවසුවේ භාරකාර මණ්ඩලයට දීර්ඝ කාලීන දැක්මක් ඇති හා ඒවා ක්‍රියාවට නැංවීමට ප්‍රායෝගික හැකියාවක් ඇති අධ්‍යාපනඥයින් ඇතුළත් විය යුතු බවයි. එසේම රජයෙන් නම් කරනු ලබන තිදෙනෙකු මෙන්ම ජාතික හා රාජ්‍ය ව්‍යවසාය ගිණුම් ක්‍රියාමාර්ග පිළිබඳ පළපුරුදු නියෝජිතයෙකු විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඇතුළත් විය යුතු බවයි. විශිෂ්ට උපදේශකයින්ගෙන් සමන්විත ක්‍රියාකාරී ප්‍රධාන විධායක නිලධාරියෙකු සහ සහායක කාර්ය මණ්ඩලකින් සමන්විත කළමනාකරණ මණ්ඩලයකින් මෙම උදාර සංකල්ප සාක්ෂාත් කරගැනීමට කටයුකු කෙරෙනු ඇත.