• Ada Derana BIZ Sinhala
  • Financial assistance
  • sri lanaka
  • Sri Lankan companies
  • United States

ශ්‍රී ලංකාවේ සමාගම් තුනකට ඇමරිකාවෙන් මූල්‍ය පහසුකම්

June, 16, 2022

එක්සත් ජනපදයෙන් ලබාදෙන නව ණය සහ ආයෝජන වශයෙන් ඇ. ඩොලර් මිලියන 120ක් සඳහා DFC අනුමැතිය ලැබී ඇති බව එ.ජ. තානාපති කාර්යාලය නිවේදනය කරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීමට සහ ආර්ථිකයට සහය වීමට නව ණය වශයෙන් ඇ. ඩො. මිලියන 120ක් සඳහා එ.ජ. ජාත්‍යන්තර සංවර්ධන මුල්‍ය සංස්ථාවේ (DFC) අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඊයේ (16) දින නිවේදනය කරන ලදී.

“එක්සත් ජනපදය හැත්තෑ වසරක් තිස්සේ ශ්‍රී ලාංකික ආර්ථිකය වර්ධනය කිරීමටත් ශ්‍රී ලාංකික ජනතාවට සහය වීමටත් විදේශ ආධාර, ණය සහ වෙළඳ අවස්ථා ලබා දී තිබෙනවා,” යනුවෙන් ශ්‍රී ලංකාවේ එ.ජ. තානාපති ජුලී චංග් මහත්මිය සඳහන් කළාය. “නව ආයෝජන වශයෙන් DFC ලබාදෙන ඇ.ඩොලර් මිලියන 120 කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙත ළඟා වී ව්‍යාපාර සඳහා මුදල් යෙදවුම, රැකියා සහ සාධනීය අනාගත නිර්මාණය කරදීමට සහය වන බැවින්, අද දිනයේ කරන මෙම නිවේදනය පෞද්ගලික අංශයට සුභ ආරංචියක් වේවි.”

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (MSMEs) වෙත ණය දීම පුළුල් කිරීමට සහ ශ්‍රී ලංකාවේ MSME අතරින් 25% ක් නියෝජනය කරන කාන්තා හිමිකාරත්වය සහිත ව්‍යාපාර සඳහා ණය සම්බන්ධයෙන් පවතින අඩුව පියවා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව වෙත ලබාදෙන ඩොලර් මිලියන 100 ක සෘජු ණයක් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද ව්‍යාපෘති අතරට ඇතුළත් වේ.

මීට අමතරව, ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් ද්‍රව්‍ය ඇතුළත් පොලියෙස්ටර් නූල් නිෂ්පාදකයෙකු වන BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත ලබාදෙන ඩොලර් මිලියන 15 ක ණයක් DFC විසින් නිවේදනය කරන ලදී. නිෂ්පාදනය වැඩි කිරීමට සහ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණ යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට මෙම ණය මුදල සහය වනු ඇත.

තිරසාර ආහාර සමාගමක් වන MA's Tropical Food Processing (Private) Limited වෙත එහි ව්‍යා‍ප්තිය සහ එහි සැපයුම් ජාලය වර්ධනය කිරීම සඳහා ලබාදෙන ඩොලර් මිලියන 5 ක ණය මුදලක් ද ඊයේ දිනයේ නිවේදනය කරන ලදී. මෙම ප්‍රයත්නය ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳ පරිචයන් (Fair Trade practices) ශක්තිමත් කිරීම සහ කාන්තා සේවා නියුක්තිය වැඩි කිරීම කෙරහි අවධාරණය කරමින් නව රැකියා උත්පාදනය කරනු ඇත.

පසුගිය වසර දෙක තුළ MSME අංශය සඳහා DFC හි ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් මිලියන 300 කට ආසන්න අරමුදලේ කළඹ මත මෙම නව ණය ගොඩනැගී ඇත.

“අද දිනයේ නිවේදනය කළ විවිධාකාර කටයුතු මාලාව විවිධ අංශ සහ සංවර්ධන අභියෝග පරාසයක් මුළුල්ලේ සැබෑ බලපෑමක් සිදු කරනු ඇති,” DFC හි ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා පැවසීය. “මේ හරහා පිළිබිඹු කරන්නේ පුද්ගලික ප්‍රාග්ධනය වඩාත් වැදගත් තැන්වල DFC උපක්‍රමශීලීව එය උත්ප්‍රේරණය කරන ආකාරයයි”

ලොව පුරා බලශක්තිය, සෞඛ්‍ය සේවා, ඉතා වැදගත් යටිතල පහසුකම් සහ තාක්‍ෂණය ඇතුළු ක්ෂේත්‍ර හරහා ආයෝජන කරමින්, තීරණාත්මක අභියෝග සඳහා වන විසඳුම් මුල්‍යකරණය සඳහා DFC පුද්ගලික අංශය සමඟ හවුල් වේ. නැගී එන වෙළඳපලවල රැකියා උත්පාදනය කිරීම සඳහා කුඩා ව්‍යාපාර සහ කාන්තා ව්‍යවසායකයින් වෙනුවෙන් ද DFC මූල්‍ය පහසුකම් සපයයි. DFC ආයෝජන, උසස් ප්‍රමිතීන්ට අනුකූල වන අතර පරිසරය, මානව හිමිකම් සහ සේවක අයිතීන්ට ගරු කරයි.

මෙම නිවේදන වොෂින්ටනයේ කොංග්‍රස නිවේදන සහ අනෙකුත් පරිපාලන අනුමැතීන්ට විෂය වීමට ඉඩ තිබේ. වැය සඳහා මුදල් සූදානම් වූ විට මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ලබාගත හැකිවනු ඇත.